පොලොන්නරැවේ පොඩි විජේගේ කතාව- මාධ්‍යෙව්දිනි ඉන්දුමති ජයසේන ලියයි-

14804749_589497794566860_1799480586_n
පොලොන්නරුවෙ පොඩිවිජේ..
.වෙඩි නොවදින පොඩි විජේ….
.කැලේ රජ උනා…..
මේ කතා මාලව තුලින් මා හෙලි කරනා බොහෝකාරණා මෙතෙක් කිසිදු මාධ්‍ය වලින්වත් හෙලි නොවුන ඒවා -පොඩි විජේ ගැන මා දන්නවා -ඔහුගේ ගම් පියසේම උපන් මම මේ චරිතය හොදින් අධ්‍යනය කලා .මේ සබෑ තොරතුරැ වලට අභියෝග කල හැක්කේ පොඩි විජේගේ පවුලේ උදවියට පමණි “ මාධ්‍ය වේදිනි ඉන්දුමති ජයසේනගේ අදහසයි . ඇය විසින් සිය මුණුපොත මගින් මුදා හරින කොටස් වශයෙන් පලකරන පොඩි විජේගේ ජිවන චරිතය නුතන පරපුර වෙනුවෙන් සමාජ ගතවිම වැදගත් යැයි සිතුවනිසා තානායම්පල වෙබ් අඩවියෙන් ඇය ලියන පොඩි විජේගේ ජිවන චරිතය මෙසේ මුදාහරිමු. ඇය වරින් වර එක් කරන ඉතිරි කොටස්ද මෙම කතාවට එක්වන බව පාටක සැමට සිහිපත් කරමු –

 

 
පලමු කොටස 14593236_820856784715449_1443541487_n

මම කුඩාම සන්දියෙ පාසැල් ගියේ…පොලොන්නරුව ජයන්තිපුර කියන ගමේ..තිබුනු කනිෂ්ඨ පාසැලකට. ගේ ලගම තිබුනු ජයන්තිපුර කනිටු විදුහල තියෙද්දි කිලෝමීටරයක් විතර ගම ඇතුලෙ තිබුනු පාසැලකට යන්න සිද්ධවුනු කතාවත්..හරි අපූරුයි.ඒත්..ඒ කතාව වෙන දවසකට තියාගනිමු.. තඹලවැව කනිටු විදුහල..5 පන්තියේ ශිෂ්‍යත්වය සමත්වන තුරු..දිනපතා උදේ සවස මේ දුෂ්කර ක්‍රියාව (ඒ කියන්නෙ කිමි 2 පයින් බඩගාන එක.)…පොලොන්නරුව කොලඹ ප්‍රධාන මාර්ගයේ 22 වෙනි සැතපුම් කනුව අසලින් තඹලවැව පැත්තට වැටී තිබෙන මාර්ගය සුසැදී තිබෙන්නේ ඇල බන්ට් එකක් දිගෙයි.. මේ පාසැලට බොහෝ දුර ඉදල ගිය එකම ලමය මමයි. ඇල බන්ට් එකේ කිමි 1 විතර ගියාම අපේ කුඩා පාසැල පිහිටි ඉසව්වට යන්න වංගුවකින් හැරිල තව අතුරු පාරක් තියෙනව…ඔය හරියෙදි තමයි පාසැලට යන ලමය් එකා දෙන්නා මුනගැහෙන්නෙ පටන් ගන්නෙත්. ඔය කියන වංගුවේ..අක්කර 2 රූස්ස අඹ කොස් පොලොස් වලින් වැහිච්ච වත්තක තිබුනු කොලනි ගෙදරක් මට තදින් මතක යේ තියෙනව… දැන් මෙය කියවන ඔබ කලබලයට පත්වෙලා…ඇන්ටන් ජෝන්ස් ගෙ පොඩිවිජේ සිංදුවෙන් පටන් ගත්තෙ කියල…එතෙනට එන්නටයි මේ පාර කැපුම. අර මහ විශාල අඹ පොල් කොස් වත්ත ඇතුලෙ තිබුනු කුඩා කොලනි ගෙයි අම්ම තාත්ත ඇතුලු දරු මල්ලො 6 දෙනෙක් හිටිය කියලයි මට මතක.ඒ නිවස තමයි පොඩි විජේගෙ මහ ගෙදර. හේරත් මුදියන්සේලාගේ විජේරත්න…ඔහු ත් ආවේ තඹලවැව පාසැලටයි. ඔහුගේ වැඩිමල් සහෝදරයා සරණපාල ඔවුන්ගේ පියා ගම්මු ඔහු හැදිවූයේ මඩාටුගම පියදාස කියල..ඔහු හොද ගොවියෙක්..ඔවුන්ගෙ වැඩිමල් දියනිය ජයන්තා…ඉගෙනගත්තෙ මගෙ පංතියේ… ඈ දිනක් මට විශේෂ බත් මුලක් ගෙනත් දුන්න. සුනුසහල් සමග ඕලු ඇට බතක් මගෙ ජීවිතේට එදා විතරයි එහෙම රස බත් එකක් කෑවේ. අදත් එතරම් රසට හැදූ ඕලු සහල් බතක් කන්න මම ආසයි. පොඩි විජේ ලගෙ ගෙදර ගැමි විදියට රසට උයන පිහන අමුතු අමුතු කෑම ජයන්තා මට ගෙනත් දුන්නෙ..හරි කැමැත්තෙන්… පොඩි විජේ…පාසැල් ගිය ඒ කුඩාකාලෙ අපි ඔහුට කතා කලේ විජේ අයියා කියල.ඒ කාලෙ පොඩි…කෑල්ල තිබුනෙ නෑ. මම ශිෂ්‍යත්වෙ සමත් වෙලා…කැකිරාව මධ්‍ය මහා විද්‍ය්‍යාලයට ගියා. යලිත් මම ගමට එද්දි බොහෝ දේවල් වෙනස් වෙලා තිබුනා…සරණපාල ගොවිපලක් දාලා තිබුනා…විජේ..පාසැලෙන් ඉවත් වෙලා..රැකියාවිරහිතයො සමගි කල්ලි ගැසී සිටියා.ජයන්තා පාසැල් අධ්‍යාපනයට සමුදීලා ..තිබුනා..බාල නංගිලා දෙන්නා පමනක් පාසැල් ගියා..ඔවුන්ගේ පවුලේ බාලම පිරිමි දරුවා පැවිදිවෙලා තිබුනා.. දරුවන් කුඩාකල කැලේ කොලේ අතගාල වුනත් රසමසවුලු ඉවූ..මේ නිවසේ ගෘහපාලිකාවට දැඩිමේනිවුනු මේ සියලු දෙනාගේ කුස ගින්දර නිවීම ගැටලුවක් වී තිබුනා. එලැඹ තිබුනේ..සිරිමාවෝ මැතිනියගේ රජයයි..වගා සංග්‍රාමයෙන් රට දිනවන්න එතුමිය ගත් වෑයම අසාර්තක වෙලා ගොවිබිම්වල රැකියා විරහිත තරුනයින් විකල්ප මාවත් හොයන වකවානුවේ සරනපාල..ඔහුගේ නියගයෙන් බැට කෑ ගොවිපල අතෑරලා…විමුක්ති කාමීන් ගේ සංවිධානයට බැදුනා…. මේ වකවානුවෙ..විජේගේ භූමිකාවත් පරිවර්තනයකට ගොදුරු වුනා… තඹලවැව ඉහත්තාවට ඉහලින් තිබුනු වනාන්තරයේ විජේ ඇතුලු පිරිසක් නීති විරෝධි මත්පැන් නිෂ්පදනයට අතගැහුවා… විජේ මුලින්ම පොලිස් අත් අඩංගුවට පත් වන්නේ ඔන්න ඔය නීති විරෝධි මත්පැන් නිෂ්පාදනයේදියි…. නිතර නිතර පොලිස් අත් අඩංගුවට පත්වීම් හා බන්ධනාගාර ගතවීම් වලදී..විජේ උසස් අධ්‍යාපනය ලැබුවා…..යහපත් දෙයට නොව අයහපත් දෙයට…ඔහු ඇසුරු කලෝද යහපත් මිතුරෝ වුනේ නෑ. ඔහු මුදල් හරි හම්බ කරන්නට පටන් ගත්තා..එකක් නොව..කිහිපයක්ම….. හම්බ කිරීමේ මාර්ග ගනනාවක්ම…දිලිදුබවේ අන්තයට වැටී සිටි පවුල සෙමෙන් හිස ඔසවමින් සිටියා. ඇලහැර අත්තනකඩවල ග්‍රාමයේ ජීවත්වූ යසවතී විජේගේ හිත හොරා ගත්තේ මේ වකවානුවෙදියි. දින වකවානු නැකත් අවැසි නැත මේ විජේගේ බඹරා වැල්ලේ ගැසුවත් කැරකෙන කාලයකි.ඔහු යසවතී ගෙදරට ක්ව්න්දාගෙන ආවේය.. අතමිට යහමින් ගැවසුනු…විජේ පොලොන්නරුව කොලඹ මාර්ගයේ 22 හංදියෙන් ඉඩම් කෑල්ලක් මිලදී ගත්ත..එහි නිවසක් තැනූ විජේ නිවස ඉදිරිපස කොටසේ වෙලද සැලක් ද ඉදිකලා. එක්තරා ..රාත්‍රියක පහන් වෙද්දී…ජයන්තිපුර ජනපදයම කලබලයට පත්වී තිබුනා..හිගුරක්ගොඩ සිට පොලොන්නරුව බලා පැමිනෙමින් තිබූ සිගරට් වෑන් රිය නැවතූ මුහුන ආවරනය කරගත් කන්ඩායමක් විසින් එහි තිබූ මුදල් මංකොල්ල කා පලාගොස් තිබුන. ඒ රැයේ විජේ තම අලුත් නිවහනට ගෙවදීම නිමිත්තෙන් මිතුරන් උදෙසා සංවිධානය සාදයක විනෝද වෙමිනුයි හිටියෙ. මැදියම් රැය තෙක් පැවති සාදය නිසා විජේ පසුුදින මදක් දහවල් වනතුරු නින්දට වැටී සිටියා. රට හෙල්ලූ අපරාධකරුව කු වූ පොඩිවිජේගේ කතාව පටන් ගන්නේ එතැන් සිටයි.. සිගරට් වෑන්‍ රතය මංකොල්ල කෑවේ.. පොඩිවිජේ ඇතුලු පිරිසක් විසින් බව පොලීසියට ලැබුනු තොරතුරකට අනුව ඒ ඉරණම් දිනයේ ඔහු පොලිස් අත් අඩ්ංගුවට ගත්තා.. පොඩිවිජේ අභිනවයෙන් සැදූ නව නිවහන පිහිටියේ මගේ නිවසේ සිට බැලූ විට ආසන්නයේමය.ඒ කියන සාදයේගී හඩ අපටද මැදියම් රැය තෙක් ඇසුනා මට මතකයි. පොඩිවිජේ ගේ ඉරනම් ගමන වෙනස් කල කතාවේ ඉතිරිය..මම පසුදිනට කල් දමනව..මේ කතාව මා ලියන්නේ මගේ ඇස්පනාපිට දුටු දේවලිනි.එහෙයින් මෙය අභියෝගයට ලක්කල හැක්කේ ඔහුගේ පවුලේ උදවියට පමනක් බව කාරුනිකව සලකන්න.
———————————————————————————————————————————————
 දෙවන කොටස 14642690_820857541382040_1510727605_n
ඊයේ…රාත්‍රියේ මම මේ කතාව සයිබර් අවකාශෙ ලියන අතරතුරේ…..තමයි අතීත මතක අතරට යන්නෙ..ඒ නිසා විජේගෙ මහ ගෙදර..තොරතුරු වලින් පස්සෙ..ඔහුගේ අපරාධ වංශ කතාවට ආරම්භය තියල මම නිදාගත්තා..නින්ද මා වෙත එනතුරු ඉදිත්දි මගේ මනස..ඒ මගේ ලමාකල අවදියට අරගෙන ගියා….ඔව්..මට කියන්න අමතක වුනා…විජේගේ මෑණියන් ගැන…ඈ තරමක් මිටි කෙට්ටු සිරුරකට හිමිකම් කීවා..හිනාවෙද්දී..ඇගේ ඇස් යටින් රේඛා වැලක් ඉපදුනා…ඒ සන්දියෙ ඈ හිනාවෙද්දි මට හිතුනේ.. ඇය හඩනවා..කියලයි..නිරතුරුවම ඇගේ මුහුනේ ශෝකාකූල බවක් තිබුනා…ජයන්තාටත් ඒ හිනාවම පිහිටලා තිබුන. සරණපාල ඇගේ ලොකු නංගීට ( ජයන්තාට ) තදින් සෙනෙහස පෙන්නුවා…ඇතැම්විටෙක.. පාසැල් යනෙන අතර මම ඇගේ නිවහනට ගොඩවෙනව. එහෙම දවස් වල සරණපාල වැඩිමල් සහෝදරයෙක් වගේ මගෙන් තොරතුරු ඇහුවා..හැබැයි විජේ තමන්ගෙ බාල සහෝදරියන්ට බුරුලක් පෙන්නුවෙනෑ..ජයන්තාත් සරනපාලත් අදුරු සමක් සහිත අය වුනත් විජේ..සහ පවුලේ සිවුවැන්නිය..ඉතා පැහැපත් සමකට හිමිකම් කීවා..ඔවුන් දෙදෙනාගේ මුහුනේ නිරතුරු කෙලිලොල් හිනාවක් රැදී තිබුනා… විජේගේ බාල නංගී සහ මල්ලී ගැන මගේ මතකය එතරම් පැහැදිලි නෑ….. මතකයිනෙ මම කීවා ..ජයන්තා ඉදහිටෙක මට දුර්ලභ ( අපේ අම්මා ගේ මුලුතැන් ගෙයි නොපිසන ලද ආහාර වර්ග ) කෑම විශේෂ පාසැලට ගෙනෙන බව. දවසක් ඈ රොටී කැබල්ලක සුවිශේෂී සම්බෝලයක් දවටගෙන ඇවිත් දුන්නා…පාසැලේ..පිට්ටනියෙ..දේවදාර ගහ ලග වාඩිවෙලා රොටී කෑල්ලයි සම්බෝල ටිකකුයි මුවේ හලාගත්ත.. පුදුම රසක්…ජයන්තා මා දිහා බලාගෙන හිටියෙ හරියට දඹානෙ ලමයෙක් ගෙනත් දුන්නු දුර්ලභ ආහාරයක් කුරුදුවත්තෙ ලමයෙක් වළදනව වගේ ප්‍රීතියෙන්.. ” රසය් නේද ?” ඈ ඇහුවා…” ” හරිම රසයි මොනවද ඒ “” මම තලු ගහන අතරෙ ඇහුවා…. සම්බෝලේ තෙල් දැම්මෙ..ගෝන කරවල දාලා ඈ කිවුව..මම කල්පනා කලා ගෝන කරවල එහෙම කරවල ජාතියක් මම දන්නෙ නෑනේ..මගේ ප්‍රශ්නාර්තය පිරි දෑස දුටු ඈ කරුනු පැහැදිලි කලා… ” ලොකු අය්යා දඩයමේ ගිහින් ගෙනා ගෝන මස් වේලපුව ඔය…” මස් කිව්ව විතරයි…මගේ කුස ඇඹරිලා ඇවිත් වමනෙ යන්න පටන් ගත්තා.( මම කවදාවත් මස් කන්නෙ නෑ…) අනේ ..ජයන්තා මා දිහා බියපත් දෑසින් බලා හිටියා… සමාවෙන්න…මට හිතුනා විජේගේ ගෙදර පරිසරය ඔහුගේ අම්මා ගැන මුකුත් නොලියා ඉදීම තාමත් ජීවතුන් අතර සිටින එතුමියට කරන අගෞවරයක් කියා….. පොඩි විජේ හරියටම අඩි පහයි අගල් අටක් උසයි….ජයන්තිපුර හිටියා තවත් විජේ කෙනෙක් ඔහුත් කලු චරිතයක්…ඔහු උසයි ඒ කාලේ රට හොල්ලපු දරුනු වර්ගයේ අපරාධකරුවෙක් හිටියා නවරියන් කියා…පොලොන්නරුවෙ නොවේ..ඔහුට නවරියන් කීවේ හුගක් උස නිසා..ඒ වගේ උස විජේත් අපේ කතානායක විජේත් දෙදෙනාම එකම ප්‍රදේශයේ නිසාත්.සහ දෙදෙනාම පොලීසියට වුවමනාකරන උදවිය නිසාත් අපේ විජේ නිතැතින්ම පොඩිවිජේ කරන්නට පොලීසියට සිද්ධ උනා… නව ජීවිතයක් පටන්ගත්තු පොඩිවිජේ..යසවතී ගෙ කුරුලු කූඩුවට…පොලීසියෙන් කඩාපාත් උනේ…අර සිගරට් වෑන් මංකොල්ලෙට සැකපිට…යි.. ඉදහිටෙක නීතිවිරෝදී මත්පැන් සම්බන්ධයෙන් පොලීසියට ආවට ගියාට පොඩි විජේ මංකොල්ලයක් සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට පත් වුනු ප්‍රථම අවස්තාව මේකයි… මේ කාලෙ වෙද්දී.. ජයන්තිපුර..ගම්මානේ..පොඩිවිජේ මේ අපරාධෙ කලේ නැති බව කියන පාර්ශවයකුයි කලා කියන පාර්ශවයකුයි ඉබේ ගොඩ නැගුනා. ඔහු මේ අපරාධය කලා කියන්නෙ….ජයන්තිපුර ජනපදයට වෙළද ව්‍යාපාර සදහා පැමිනි…වෙළද ප්‍රජාව සහ හරියට හෝ වැරදියට සල්ලි හොයාගෙන ප්‍රභූ පන්තියට ඇවිත් ඉන්න ප්‍රජාවයි.ඔහු මේ අපරාධය කලේ නෑ කියන්නෙ..පීඩීත පන්තියේ උදවිය සහ ගොවිතැනින් සම තත්වයේ සිටින පොඩි විජේගේ තාත්තාගේ සම කාලීනයොයි… මෙතැනදී මම අපේ තාත්තා ගැන මුකුත් නොලියා මේ සටහන දිගට ගෙනියන්න බැහැ.
14627742_820856918048769_307424077_n
මගේ තාත්තා..දෙවනලෝක යුද්ධයට සහභාගීවුනු යුධ සෙබලෙක්…ඔහු ට පොලොන්නරුවේ සේවාගම ජනපදයෙන් ඉඩම් ලැබීම නිසයි මිනුවන්ගොඩ සිට පොලොන්නරුවට සම්ප්‍රාප්ත වන්නේ… තද හිතුවක්කාරයෙක් වගේම දුර්වලයා වෙනුවෙන් බෙල්ල කඩාගෙන සටන් වදින්නෙකු වූ මගේ තාත්තා…තමුන්ගෙ සහෝදරයෙකුට ඔහුට ලැබුනු සේවාගම ඉඩකඩං ටික බාරදීලා 1958 දී ජයන්තිපුරට එද්දි එය මහ කැලයක් බව කීවා මට මතකයි…සිංහල හැරුනු විට දෙමළ හා ඉංග්‍රීසී බස මැනවින් හැසිරූ ඔහු මේ ජනපදයට අපූරු පුද්ගලයෙකු වුනා..තාත්තා මේ විවිධ වර්ගයේ මිනිසුන් අතර කුඩා පරිමානයේ වෙලෙන්දෙකු වගේම හොද ගොවියෙකුත් උනා. පොඩිවිජේ ගේ ගැටලුවේදී ඔහු නියෝජනය කලේ පොඩි විජේ නිවැරැදියි කියන පැත්ත. ” මේකේ එකාලා බලාගෙන හිටියෙ විජේ බොඩිගාඩ් විදියට තියාගෙන…මිනිස්සු බය කරල හම්බ කරගන්ඩ…ඒවා අත් ඇරලා ඌ තමුන්ගෙ කකුල් දෙකෙන් නැගිටිනවට..මුං කැමති නෑ..” මගේ තාත්තා අදහස් කලේ එහෙමයි… ඔය කියන කාලේ ජයන්තිපුර උප නගරයට…හැම පැත්තකින්ම ආපූ උදවිය..මේ ජනපදයේ ගොවියන් සූරා කෑමේ ව්‍යාපාර ආරම්භකරලයි තිබුනෙ..සිරිමාවෝ මැතිනියගෙ. හාල් පොලු පාන් පෝලිම් වලින් හුගක් රිදුනෙ පීඩිත පන්තියට..මොකද ඒ අය ලග ඉතිරිකිරීම් තිබුනෙ නෑ..නියගය ගොවිතැන් පාලු කලා..මේ තත්වයේදී..ගම්මු..ජයන්තිපුර කඩමංඩියේ වෙලද ප්‍රජාවට දණ නමස්කාර කරන තරම්…ඔවුන් හැමෝම හැදින්වූයේ අගට මහත්තයා කෑල්ල දාලා.. කලු මහත්තයා,බේබි මහත්තයා,ලියන මහත්තයා.උපාසක මහත්තයා මුදලාලි මහත්තයා, සභාපති මහත්තයා..කොටින්ම එවකට ටිකක් කටසැර වැඩිහිටියෙක් උන්නා. එයා වික්කෙ අරක්කු..නීති විරෝධි ඒවා නෙවි…ලයිසන් අරක්කු…එයා හැදින්වූයේ..අරක්කු මහත්තයා කියල…ගොවියො..නිකම්ම..පියදාස.සිරිසේන,සෝමපාල ආදි විදියට. මම මෙහෙම චිත්‍රයක් ඇදල පෙන්නුවේ පොඩිවිජේට මේ අපරාධ ලේබලය ඇලවෙන්න ඒ පරිසරය තිබුනෙ කොහොමද කියන්නයි… පොඩිවිජේ …සිගරට් වෑන් කොල්ලයෙන්.. ඇප පිට ගෙදර ආවා…පෙරට වඩා උනන්දුවෙන් නැගිටින්න…උත්සාහ කලා..ඔහු බොහෝ පිරිසිදුවට ඇන්දා සුදු කමිසය මම දන්න දා ඉදල ඔහුගේ උඩුකය වැසුනේ සුදු කමිසයෙන්… මේ කාලේ දවසක් හබරණ කැලෑව අද්දරදී රාත්‍රී කොලඹ සිට පොලොන්නරුව දක්වා පැමිනි බසයක් සන්නද්ධ කල්ලියක් විසින් මං කොල්ල කනු ලැබුවා…ඇගිල්ල දිගු උනේ පොඩි විජේ දෙසටයි…තැනින් තැන මහ රෑ සිදු උනු මංකොල්ලකෑම් වලට තිත තියාගන්න බැරිඋනු පොලීසිය…හැමදාම පොලිස් පොතේ පොඩිවිජේ කියන නම එන්ටර්.. කලා… නිරන්තරයෙන් සිද්ධවෙන මේ අසාධාරනය කෙමෙන් කෙමෙන් පොඩිවිජේගේ මා දුටු සුන්දර හාදයා කියන හැගීම නැති කරන්නට සමත් වෙමින් තිබුනා…… 1976 දි බලයේ තිබුනු රජය පෙරලී ..නව රජයක් බලයට ආවා…පොඩිවිජේට එරෙහි ඇතැම් කොටස් වලට නව රජයේ යම් යම් තනතුරු තානාන්තර ලැබුනා… ඒ…පරිවර්තන යුගයේදී මගේ ඉරනම් කාරයා මුනගැහී තිබුනත්…1977 ඡන්ද ප්‍රථිඵල එන්න කලින් මගේ විවාහය සිදු කරන්නට දෙමාපියනට සිද්ධවුනා..එයත් අපූරු කතාවක්..පසුව ලියමු.. පොලොන්නරුව අධිකරනයේ විභාග වූ නඩු ගන්නාවක් පොඩිවිජේට එරෙහිව තිබුනා පොලීසිය ඉදිරිපත් කරන ලද… හැබැයි සාක්කි තිබුනේත් නෑ…..එක්තරා නඩු විභාගයකින් පොඩිවිජේ…ට හිරබත් කන්න සිද්ධවුනා… ඔහු හිරගෙට ගියදා මැදියම් රාත්‍රියේ ඔහුගේ නව නිවහන කිසිවෙකු හෝ ගිනි තිබ්බා….
—————————————————————————————————————-
 තුන්වන කොටස
14593246_820857181382076_1311169888_n
පොඩිවිජේ ගැන ලියද්දි ලැබෙන ප්‍රතිචාර හරි ඉහලයි…වැඩිහිටියො..එය කියවන්නෙ අතීතකාමයෙන් පෙලෙමින්,,තරුන කන්ඩායම් එය කියවන්නෙ..යමක් දැනගැනීමේ කුහුලින්…මම මෙහි විශේෂයෙන් ලියන්න ඕන.මා මෙහි ලියන ඇතැම් දේවල් කවදාවත් මාධ්‍යකින් හෙලිවී හෝ නැහැ. පොඩිවිජේ සිරගත උනා..ඔහු රැදවූයේ අනුරාධපුර බන්ධනාගාරය තුලයි.. ඔහුගේ සිරගත වීමත් සමගම ගමේ ඔහුට එරෙහිව සිටි කන්ඩායම්…වහාම ක්‍රියාත්මක වුනා.පොඩිවිජේගේ බන්ධනාගාර ගතවීමත් සමග..යසවතී..ඔවුන්ගේ අලුත් ගෙය වසා දමා තඹලවැවේ මහ ගෙදරට ගියා.. ඒ වන විටත් අපරාධකරුවෙක් නොවුනු පොඩිවිජේ…අපරාධකරුවෙක් බවට පරිවර්තනය කරවන්නට කිසියම් පිරිසක් ඔහුගෙ නව නිවහන ගිනි තැබුව….. සියල්ලේම විනාශය ඇරඹුනා….ඒ කියන්නෙ…පොඩිවිජේගේ ජීවිතයෙත්…ඔහුට අනර්තයක් කල අයගේ ජීවිත වලත්… අනුරාධපුර සිට සතිපතාම පොඩිවිජෙ ඇතුලු සිරකරුවෝ නඩු දවසට පොලොන්නරුව දිසා අධිකරනයට ගෙනාවා… කෙලවරක් නැති නඩු..පොඩිවිජේගේ සහෝදරයො දෙමවුපියෝ..සෑම නඩු දිනේකම පෙරකදෝරු ගාස්තු හොයන්න බොහෝ වෙහෙසක් දැරුව… මට මතකය් සුදු පැහැ ය තරමක් අවපැහැ ගැනුනු ඔසරියක් ඇදගත්තු පොඩිවිජේ ගෙ අම්මා නඩු වාරය අවසන පොලොන්නරුවෙ ඉදල ඇවිත් අපේ නිවස ඉදිරිපිට ඉන්නෙ..බන්ධනාගාර බස් එකේ ආපහු අනුරාධපුර අරගෙන යන තමුන්ගෙ දෙවැනි කොලුවව බලාගන්න….නිතර හැඩුම් දෑසක් තිබුනු ඒ අම්ම..ගෙ ඇස් වලින් කදුලු පෙරුන..බන්දනාගාර බස් එකේ උසාවි එන පොඩිවිජේට ජයන්තිපුර පහු වෙද්දි ගිනිගෙන විනාශ වෙලා තියෙන ,අගුරු බවට පත්වුනු තම නව නිවහන පෙනෙන්නට ඇති… ඔබ ට දැනෙනවද ඒ රිදුම…. එක්තරා දවසක මේ හද දැවුම පුපුරා ගියා…එය..මහා ව්‍යසනයක ආරම්භය …..සනිටුහන් වීමක්. මට දින වකවානු මතක නැහැ. බොහෝ විට ඒ 1978-1980 අතර විය යුතුයි.එහි පරස්පරයක් වුවහොත් කියවන්නෝ මට සමාව දෙත්වා.. එදා දවල් වෙද්දී මුලු ජයන්තිපුරම හෙල්ලිලා ගියා. එදින දවල් අනුරාධපුර සිට නඩු වාරයක් සදහා පොලොන්නරුව දිසා අධිකරනයට ගෙනෙන ලද..පොඩිවිජේ ඇතුලු දරුනු ගනයේ අපරාධ කල්ලියක් පොලිස් අත් අඩංගුවෙන් පලා ගියා කියල තමය්…දහවල් 12.45. ගුවන් විදුලියේ පුවත් වලට කීවෙ… පොඩිවිජේ සමග මාංචු වලින් එකට ඈදලා හිටියා කියන්නෙ…අම්පාරෙ සුදා නැමති තවත් දරුනු ගනයේ අපරාධකරුවකුත් සමගයි පොඩි විජේ විමුක්තිය සෙවීම ආරම්භකරල තිබුනෙ…
14620146_820857178048743_1118342889_n
පොලොන්නරුව පොලීසිය වෙනත් පොලිස් ස්තානවලින් කන්ඩායම් ගෙන්නලා ඔවුන් යෑ හැකි යැයි සැක කරන වනාන්තර ප්‍රදේශ වටලුවා..නිහඩව තිබුනු ජයන්තිපුර..අතුරුමාවත් ඒ මේ අත ඉගිල්ලුනු පොලිස් ජීප් රථ වලින් නැගුනු දුහුවිල්ලෙන් වැහිල ගියා… බරපතලම පීඩාව ලැබුනෙ…පොඩිවිජේ ගෙ ගෙදර අයට…පොලීසිය දැන සිටියා…හිරෙන් පැන්න පොඩිවිජේ අනිවාර්‍යෙන්ම ගෙදර යන බව…ඔවුන් තමුන්ගෙ ගේ ඇතුලෙ හිරකාරයො බවට පත් උනා. යසවතී හිටියෙ..දරුවෙකු ලැබෙන්න…නිරතුරු පැමිනෙන පොලීසිය ඔවුන්ට තර්ජනය කලා… පොඩිවිජේ සහ අම්පාරෙ සුදා හිරෙන් පැන්නෙ පොලොන්නරුව නවනගරය.. කියන ප්‍රදේශයෙන්..රාජ්‍ය ආයතන සහ නිල නිවාස වලින් පමනක් හෙබි…නවනගරය පිටු පසින් වූයේ එක් පැත්තකින්..පරාක්‍රම සමුද්‍රය.. වැවත් නව නගරයත් මැදින් ගොඩබිමින් යන්නෙකුට එහි කෙලවර වස්ගමුව ව්නෝද්‍ය්‍යනය තෙක් යන්නට පුලුවන්.. ඒ වනයේම ඇවිද යන්නෙකුට මහවැලි ගග තරනය කල පසු.. මහඔය පදියතලාව ඔස්සේ නිල්ගල මහ කැලෑව දක්වා යන්නට පුලුවන්… මට කියන්න අමතක උනා..ඔවුන් ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ ගිනි අවියකුත් පැහැර්ගෙන තිබුනා. පොඩිවිජේ ගේ මේ ආගමනයෙන් බොහෝ සේ බියට පත්වී සිටියේ ඔහුට විරුද්ධව පොලිස් පැමිනිලි පොතේ පිටු පිරවූ පිරිසයි…. ගෙවුනු හැම රැයක්ම යක්ෂ්‍යාගේ රාත්‍රිය වුනා…ඔහුගෙන් විපතක වෙතැයි සැකකල උදවිය දහවල් කාලයේ කඩමන්ඩි වල අතන මෙතැන වහසි බස් දෙඩෙවුවා… අපේ ගෙයි මිදුලේ විශල් අඹ ගසක් තිබුනා..එහි පාමුල ලෑලි බංකුවක් තිබුනා..අපේ අම්මා නම් ඒ බංකුවට කීවේ..” රස්තියාදු බංකුව” කියලයි.. ඉර බැස ගිය හැම හැන්දෑවකම..මේ බංකුව වටා රැස්වන ගම්මු…විවිධ..ලෙස මේ තොරතුරු බෙදා හදා ගත්තා… ” මිනිහ..සුදු කන්දෙ.. ඇත්තෙ…” ” මොන පිස්සුද විජේ රෑට රෑට ගෙදර ඇවිත් යනවලු දැකපු උං ඉන්නව…” ඔය විස්තර ප්‍රචාර වලට මං පෙරදාක සදහන් කල මහත්තුරු වගේම පියදාසලා සිරිසේනලා සෝමපාලා ලත් හිටිය. සුදු කන්ද කියන්නෙ..ගිරිතලේ වැවට පසුබිම් වෙලා තියෙන කන්දක්… අපරාදකරුවෙකුට හැංගිලා ඉන්න පුලුවන් පරිසරයක් තිබුනා ඒ කාලේ.දැන් නම් ඒ කැලෑව පාවිච්චි කරන්නෙ…යුධ හමුදාව…ආධුනික සෙබලුන්ට ගිනි අවි පුහුනු කරන්න. කොලඹ සිට මඩකලපුව බලා යන සීඝ්‍රගාමී බස් රථය කොල්ලකරුවන් පිරිසක් විසින් කොල්ල කෑවේ..මෙ කාලෙදිය්. තව දවසක…ජයන්තිපුර වී මෝලකට කඩා වදින කොල්ලකරුවෝ එහි මුදල් කොල්ල කෑවා… මුහුනු බැදගත්තු කොල්ලකරුවෝ…” අපි පොඩි විජේගෙ කට්ටිය..”” කියල තියෙනව.ඔය සම්බන්ධයෙන්..අපේ ගෙමිදුලේ අඹගහයට සංගමය නම් දැරුවේ වෙනත අදහසකුයි. ” මොන පිස්සුද ඕයි..ඕකා…ඔය තුට්ටු දෙකක් අරගෙන ඔතැන තමුන්ගෙ නම විකුනයි ද…ඔය මේ දෙකයි පනහෙ බත් මුට්ටි හොරු වගයක්..අරූගෙ නම විකුනනවා” ඔහොම කෑගැහුවෙ..අපේ සේවාමුක්ත භටයා.. ” ඔව්..ඔව්..ඔය..බොරදියේ මාලු බාන එවුවො…” තව කෙනෙක් අලගු තැබුවා.. පසුවදා…බොහොම දීප්තිමත් හිරු එලිය තිබුනු දවසක්…සෙනසුරාදාවක්…ජයන්තිපුර සතිපොල පැවැත්වෙන්නෙ එදිනට..මේ සතිපොල බොහොම ජනාකීර්නයි බොහෝ ඈත ප්‍රදේශ වලින් වෙලෙන්දො එනව..පොලට…ජයන්තිපුර ගොවි මහත්වරුන්ටත් අනෙක් වෙළද ප්‍රජාවටත් ගනුදෙනු කරන්න තියෙන්නෙ එකම මූල්‍ය ආයතනයක් විතරයි..ඒ ජයන්තිපුර සමූපකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකුව විතරය්. කුඹුරු ගොයිතැන් පටන් ගත්තම මූලික අවශ්‍යතා සදහා ගොවියෝ…තම තමුන්ගෙ ගෙදර තිබුනු කනකර අභරන උගස් තිබ්බා… හරියටම මේ ජනාකීර්ණ දවසෙ ජයන්තිපුර ග්‍රාමීය බැංකුව මහා දවාලෙ බැංකුව මංකොල්ල කෑවා…. උගසට තැබූ ගොවියන්ගේ රන්බඩු , බැංකුවේ තැන්පත් මුදල් සියල්ලම හොරු ගෙනගියා. ඔන්න එතැනදී ආව කොල්ල කරුවන් අතරෙ ටී 56 ගත්තු මුහුන බැදගත්තු හාදයා… බැංකු කලමනාකාරවරියට සුහද තර්ජනයක් කල බවත් ඔහු පොඩිවිජේ වගේ බවත් කටකතා පියෑඹුවා…….
——————————————————————————————————————————————-
 සිව්වන කොටස14555971_820856921382102_204971599_n
සිදුවූ තාක්ෂණික දෝෂය ක් නිසා ඔබගේ රස වින්දනයට සිදුවූ බාධාව පිලිබදව මගේ බලවත් කනගාටුව…. පොඩිවිජේ කතා පුවත මෙතරම්ම ඔබගේ අවධානය දිනාගනීවි යැයි මම හිතුවෙ නෑ…ඒ නිසාම මේ සටහන් තබද්දී මගේ මතක පොත දිග ඇර ගත්තා මිස පෙර පර සම්බන්දතා වලදි හානියක් සිදුවේයැයි කල්පනා වූයේ නැහැ. එහෙයින් කතාවෙ ඉතිරිය පටන් ගන්නට පෙර පොඩිවිජේගේ මූලාරම්භයෙහි අතැරුනු කොටසක් යලිත් සටහන් තබන්නට අවසර පතනව. පොඩිවිජේගේ ලමා අවදියෙන් පසු..කලෙක ඔහු…ස්වාධීනව නැගී සිටියා..මුලදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයෙන් මුදල් හෙව්වත්.. එක පිට එක පිට නිෂ්පාදනාගරයට පොලිස් වැටලීම් සිදුවීමත්…නිතර නිතර පොලිස් කූඩුවේදී ඔහු වැනිම පීඩිතයන්ගේ ඇසුර ලැබීම නිසාත්…ඔහු… හරි හම්බ කිරීමට වෙනත් මාවතක් හොයා ගත්ත කියලයි මට හිතෙන්නෙ.. ඔහුගේ භද්‍ර යව්වනයේදී…ඔහු. ජයන්තිපුර පුංචි වීරයෙකු වූවා…කසිප්පු විකුනන සමාජ විරෝධියෙකු වනවාට වඩා..යුක්ති ධර්මයට අනුකූල තරුනයෙකු වූ පොඩි විජේ…එකල එසේ සිටීමට මුදල් ලැබුනේ කෙසේදැයි…මට එවකට දැනුම් තේරුම් තිබුනේ නැහැ. ඔහු නොසිටි තැනෙක ඔහු හෙලා තලා කතා කල ප්‍රභූ ජනයා ඔහු අභිමුවේදී…” ආ කොහොමද…විජේ..” යැයි මූනිච්චාවට කතා කරන්නට පෙලඹුනා…කොටින්ම පොලීසිය ඇතැම් නීතී විරෝධීන් පිලිබද තොරතුරු අසන්නට සොයන්නට පැමිනියේ විජේ ලගටය්.. මේ කියන කාලේ පොඩිවිජේ පෝනියෙකු මිලට ගත්තා..ඒක හරි අපූරුයි…ඇතැම් දවසක හැන්දෑවක… බටහිර ගොපලු චිත්‍ර පටයක් සිහි ගන්වමින් …එවැනිම හිස් පලදනාවක් සහිතව දල්වාගත් දුම්වැටියක්..ද සමග පෝනියා පිටේ හංදියේ සිට පල්ලම් බහිනව. හවස 2.00ත් 4.00.අතර කාලවෙලාව..අපේ ගේ ඉස්සරහ තියෙන අඹ ගහ යට ” රස්තියාදු බංකුව ” ජන ශූන්‍යයි…සංගමය ඔතැන රැස්වෙන්නෙ හවස හයෙන් පස්සෙ…මේ ජන ශූන්‍ය වෙලාවෙ..අපේ සේවාමුක්ත භටයගෙ ( මගෙ තාත්තා) වැඩේ බංකුවට වෙලා එදා පත්තරේ කට පාඩම් කරන එකයි….මම මෙතැන කට පාඩම් කියන වචනෙ පාවිච්චි කලේ…දිනපතා පත්තරේ… අන්තිම පිටුවෙ තියෙන චිත්‍ර කතාවයි.. මිනීමැරුම් වාර්තා කියවන එක ඒ කාලෙ මගෙ අපූරු විනෝදාංශය…ඒත් ඉතින් ඉස්කෝලේ ඇරිල ආ වෙලාවෙ ඉදල වටේ පිටේ කැරකෙනව මේ පත්තරේ ගන්න…මොන තාත්තා පත්තරේ බිම තියන්නෙ හොදට ඇදිරි වැටුනාම… පෝනියා පිටේ හංදියෙ ඉදල එන පොඩි විජේ… අඹ ගහ ලගදි පෝනියාගෙ ගමන මන්ද්ගාමි කරනව…මුලින්ම කරන්නෙ..අතේ තිබෙන දුම්වැටිය විසි කරන එක…පස්සෙ..සද්දෙට කතා කරනව… ” ආ…මාමේ…පත්තරේ බලනව වගෙයි…අපි ත් විජේකුමාරතුංග වගේ තමා නැද්ද මාමේ අපේ පින්තූරේ පත්තරේ දාගන්න විදියක්…” ඉලන්දාරියා දෙස උපහාස බැල්මක් හෙලන..තාත්තා..ඔහුට සරදම් පිලිතුරක් දෙයි. ” පත්තරේ වැටෙන්නඩ නං ඉතින් රට හෙල්ලෙන වැඩක් කරන්ඩ ඕන ළමයො…” එය සරදමක් නොවන බව මගේ තාත්තා හෝ පොඩිවිජේ හීනෙකින්වත් හිතන්ඩ නැතුව ඇති ..පසු කලෙක පොඩිවිජේ රට හොල්ලන පුවත් මවන්නෙක වන බව. ******* ******** ******** ******** **-14620146_820857178048743_1118342889_n
ජයන්තිපුර ග්‍රාමීය බැංකුව මංකොල්ල කෑවේ පොඩිවිජේ ඇතුලු කන්ඩායමක් විසින් බව පොලීසියට ඇස දුටු ශාක්ෂි ඉදිරිපත් කරන්නට හංදියේ වෙළද ප්‍රජාව කටයුතු කලා. ලග ලග…ජයන්තිපුර අවට..මංකොල්ලකෑම් සිදූඋනා…මෙහිදී තවත් අපූරු දෙයක් සිද්ධ් වුනා..පොඩි විජේ විසින් මංකොල්ල කන ලද මුදල් ..ඇතැම් තැනෙක දුගී පවුලකට හෝ පිහිටක් අව්ශ්‍යය අයෙකුට පරිත්‍යාග කලා..හරියට රොබින් හුඩ් ,සරදියෙල් වගේ…ඔහුගෙන් පිහිට ලැබූවෙකු..ආයේ ඇස්පනා පිට පොඩිවිජේ පෙනෙන්න හිටියත් පොලීසියට අල්ලා දෙන්නට තැත්කලේ නැහැ. ඒත් මිල මුදල් අතේ ගැවසුනු උදවිය මේ නව රොබින්හුඩ් ට කෙසේවත් කැමති වූයේ නැහැ. ඇතැම් විටෙක මහ රාත්‍රියේ මේ සල්ලිකාර වෙලෙන්දෙකුගේ ගෙට කඩා පනින ඔහු කප්පම් ඉල්ලුවා. හුදී ජනයා නම් කීවේ…පොඩිවිජේ කප්පම් ඉල්ලන්නෙ ඔහුගෙන් වැරදි ප්‍රයෝජන ගත් අයගෙන් කියායි… එක්තරා දහවලක..සැඩ හිරු නිසාම මිනිසුන් එලිමහනට නොබහින හංදියම පාලු මොහොතක… යලිත් පොඩිවිජේගේ සම්ප්‍රාප්තිය සිදූඋනා….හරියටම ජයන්තිපුර නගරය මැද්දෙන් පොලොන්නරුව හබරන ප්‍රධාන මාර්ගය ඡේදනය වෙනව.එකක් තඹලවැවෙ සිට ඇතුමල්පිටිය දෙසට ජලට රැගෙන යන ඇල මාර්ගය..අනික දෙපසට විහිදෙන මාර්ගය.ඒත් තඹලවැව. – ඇතුමල්පිටිය මාර්ගයම තමා…හංදිය මැද්දේ ප්‍රධාන පාරෙන් වම් පැත්තේ පිහිටලා තිබුනෙ වීරසිරි හෝටලය..ඊට ඉදිරිපසින් පාරෙ අනිත් පැත්තෙ තිබුනෙ සිල්ලර වෙලද සැලක් අපි ඊට කීවේ ” වලේ කඩය ” කියායි… වලේ කඩේ කැෂියර් මේසේ වෙලද්සැල් හිමිකරුවා අසුන්ගෙන සිටියා…ඔහුගේ මස්සිනා..දැලකින වට කල සිල්ලර බඩු රාක්කය අතර හිටියා.. පොඩිවිජේ ඇවිත් තිබුනෙ තනිවම..ඔහු වෙලදසැල් හිමිකරුගෙන් කප්පම් ඉල්ලූ බවයි..පොලිස් පොතේ සදහන් වන්නේ..එහෙත් තවත් පිරිසක් පවසන්නේ.. පොඩිවිජේ විසින ආරක්ෂාව පිනිස කඩහිමියාට දුන් මුදල් ඉල්ලූ බවයි… පොඩිවිජේ වෙලදසැල් හිමිකරුට කතා කරන අතරේ ඔහුගේ උකුසු ඇසට..කඩ බක්කිය ඇතුලේ සිටි පුද්ගලයා කඩ බක්කිය යටින් කඩුවක් ඇදගනු පෙනුනා… ඉස්සර උනු කෙනාටයි….ජයග්‍රහනය…පොඩිවිජේ තම හිසට එල්ලවූ කඩු පහර වලකාලමින් ඔහුගෙන් උදුරාගත් කඩුවෙන් ම ප්‍රතිමල්ලවයාට දරුනු කඩු පගරක් එල්ල කලා…ඒ මොහොතේ..පොඩිවිජේ වෙනුවෙන් හෝ..වෙලදසැල් හිමියා වෙනුවෙන් අදෘශ්‍යමාන දෙවියෙකු පෙනී සිටියා….. කඩ බක්කිය මැද එල්ලෙමින් තුබූ…තරාදියේ වැදුනු කඩු පහර වේගය බාල කරමින් ගොස් ඔහුගේ උරහිස ට තුවාල සිදු උනා. ලේ පෙරෙන කඩුවත් අතින් ගත්තු පොඩිවිජේ වෙලදසැල මිදුලේ නවතා තිබූ යතුරු පැදියකින් ගිරිතලේ දෙසට පලා ගියා… හංදිය පැත්තෙන ඇසුනු ගාලගෝට්ටිය බලන්න මිදුලට බැස්ස අපි දැක්කේ..ලේ වැකුනු කඩුවක් අතකින් අරගත්තු මරුමුස් පෙනුමක් තිබුනු කෙනෙක් පවනට බදු වේගයෙන් ඉගිලෙනවා පමනයි….. අර පෝනියා පිට නැගුනු බටහිර ගොපලු චිත්‍රපට නලුවකුගේ පෙනුම තිබූ විජේ වෙනුවට..රකුසු වෙස් ගත් දාමරිකයෙක් තමයි එදා අපි දැක්කෙ… පොලීසිය..තවත්..අපකීර්තියට ලක්වෙමින් තිබෙනවා.. දනන් තුඩග..ඒ බැව් රැවු දෙනව…පොලීසිය…පොඩිවිජේ අතඩ්ංගුවට ගැනීම සදහා මහජන සහාය පැතුවා. ඒ අනුව..ගම්මානයේ..තවත් පිරිසක් පොලීසිය හා එක්ව පොඩිවිජේ සොයා…සුදු කන්ද කැලෑව පීරනු ලැබුවා. ගමක්… මහ වනාන්තරය පීරා ඔහු සොයා ඇවිදිත්දී..ඔහු එදින තම නිවසට පැමින ගිය බවට පොලීසියට ඔත්තුවක් ලැබුනා…පොලීසිය…වහාම..පොඩිවිජේගේ පියා සහ වැඩිමල් සහෝදරයා අත් අඩ්ංගුවට ගත්තා. එදිනම..පොඩිවිජේගේ පියා විසින් නියගයෙන්ද බැට කමින් බොහෝ පීඩා මැද වගා දිගා කල කුඹුරට කිසියම් පිරිසක් විසින් ගිනි තබනු ලැබුවා. අස්වනු නෙලීමට ඔන්න මෙන්න කියා තිබූ රන්වන් පැහැ ගොයම අසුරු සැනෙන් අලුවී ගියා..හරියට පොඩිවිජේ සහ යසවතී විසින් ඉදිකල ආදර මන්දිරය ගිනි ගත්තා වගේම යි. පොඩිවිජේ ගේ මහ ගෙදරට කිසිම ආරක්ෂාවක් තිබුනේ නෑ… පීඩාවට පත් ගැහැනුන් පමනක් සිටි නිවසේ මිදුලට එදින රාත්‍රී බීමත් කන්ඩායමක් පැමින බොහෝ නොසරුප් ලෙස හැසිරුනා…..නිවස තුල සිටි තරුනියන් රැකගැනීමට මව විශාල අරගලයක් කලා…පසු දවසක…මේ හැසිරීම දෙස පොඩිවිජේ අදුරේ සැගවී බලා සිටි බවටද තොරතුරු ඉදිරිපත් උනා. පොඩිවිජේ ගේ මහ ගෙදරට පිවිසෙන වංගුව ලගදී…ජයන්තිපුර මංසන්දිය පසු කර යන මහ ඇල මුනගැහෙනව.. මේ ඇලෙන් එගොඩ…ප්‍රදේශයෙ නිවාස වෙත යන්නට තිබුනේ ඒ ඒ නිවාස හිමියන් විසින් පුද්ගලිකව දමාගත් ඒ දඩු පමනයි.මේ ඇලෙන් එගොඩ ජීවත් වූ සෝමේ…. ඔහුගෙ නිවසට පිවිසෙන්නට තිබුනේද ඒදන්ඩක්… මේ කතාවේ ඔහු විශේෂ වන්නේ…පොඩිවිජේ පොලීසියට අල්ලා දීම සදහා උත්සාහගත් පිරිස අතරේ ඔහු කැපී පෙනුනු අයෙකු නිසයි… පොඩිවිජේ කැලෑ පැන්න තැන් සිට..ඔහුත් නිදි වර්ජිතයි…හදිසියේ හෝ ඔහු තමා සොයා ආවොත් යි වන සිතුවිල්ලෙන්..යුතු සෝමේ..ඉතා හොදින් මුහහත් කඩුවක් නිදන කොට්ටය යට තබාගත්තේ…ඉදින් කිසිවෙකුට තමුන්ට අත තබනවා බොරුයි සිතමිනුයි…. ඒ මාරයාගේ රාත්‍රිය විය…නිහඩ මහ රෑ තඹලවැව ඉහත්තාවෙන්..කිරලකු මොර දෙමින් ඉගිලුනා….මේ කියන දවස් වල විදුලිය තිබුනේ ජයන්තිපුර ප්‍රධාන මාවතේ පදිංචි අයට විතරයි….ඒ නිසා තඹලවැව තද අදුරේ ගිලී තිබුනා…මහ ඇල පැත්තෙන් තොරතෝංචියක් නැතිව…රාත්‍රී..සරන කෘමී සතුන්ගේ විවිධාකාර හඩවල් ඇසුනා..
 ————————————————————————————————————————————–
 පස්වන කොටස
14650539_1147613588648788_6740471688719825375_n
පෙරදින පොඩිවිජේගේ ජීවන පුවත ඔබ වෙත ගෙනහැර පා අවසන නැවතීමේ ලකුන තැබූ සෝමේ….ගැන කෙටි හැදින්වීමක් කලේ නැත්නම් ඔබ අතරමං වේවී….

සමහර ස්තාන සිදුවීම් මටද අමතකයි…මේ සටහන් ඔබ වෙනුවෙන් කුරුටු ගෑමෙන් අනතුරුව නින්ද පතා සයනයට වැටුනත්..මගේ නෙතට නින්ද බොහොම දුර බවක් දැනෙනව…ඔබ දන්නවාද මම අතීතයට පිවිසෙනව…අද මෙන් සංකීර්ණ නැති ඒ සරල ජීවිතය කොයි තරම් නම් සැනසිලි දායකද…මට හිතෙනව.

ඇතැම් දවසක මට පොඩිවිජේ ගේ කතාවෙ යම් කොටසක් අමතක වූ කලෙට..මගේ මහගෙදර ඉදිරිපිට තිබූ “රස්තියාදු බංකුව ” මතක් වෙනව. අද ආපස්සට හැරිල හිතද්දි මට හිතෙනව ඒ තමා මගේ විශ්ව විද්‍යාලය කියල. ඒ බංකුව මතත් ඒ අවට තැන තැනත් අසුන්ගෙන සිටි ජයන්ති ජනපදයේ ආරම්භකයෝ..පිරිස ක් මගේ තාත්තා වටකොටගෙන අසා සිටියා. ඇඩ්ලින් විතාරන නඩුව, කලැත්තෑවේ ඇල්ෆ්‍රඩ් සොයිසා ගෙ වතගොත, ලංකාවේ ප්‍රතම වැඩිම මුදලක් කොල්ලකෑ හාර ලක්ෂේ මංකොල්ලය, මරුසිරා,සතාසිවම් මිනීමැරුම…ආදී රට හෙල්ලූ සිද්ධ්න් සියල්ල මා අසා ගත්තේ ඔවුන්ගේ කතා බහට සවන්දීමෙනි…

දනන් තුටු කරවන සුලු මේ කතන්දර ගෙත්තම වියන්නට මට අත් පොත් තැබුනේ මගේ පියතුමාගේ බහුශෘත දැනුමින් යුතු මේ කතා බහත්…ඔහුගේ දින චරියාවේ අවසන් අංගය වන මේ ..( අපේ අම්මා කියන විදියට ) කයිවාරුව අවසන්ව රාත්‍රී කෑම මේසයට ඔහු එනතෙක් ගල්ලැහැ හෝ වැටකෙයියා පන් මිටියක් සර සර හඩින් හඩවමින් රටා පැදුරු වියූ මගේ අම්මා අසල බිම වාඩිවී ඇගෙන් අසා දැනගත් ඉතිහාස කතන්දර වලිනුත් බව ඒ දයාබර මෑණීයන්ට හා පියානන්ට උපහාර පිනිස ලියා නොතබන්නේනම් එය මහ ගුනමකු කමකි.

පොඩිවිජේගේ නිවස පිහිටි මාවතේ ඔහුගේ නිවස පසුකොට තඹලවැව විදුහල පැත්තට ගමන් කරද්දී හරියටම පොඩිවිජේ ගේ නිවසේ සිට තෙවන හෝ සිව්වන නිවස මුලින් කියූ සෝමේ ගේ මහගෙදර…..කුඩාකල මා පාසැල් යද්දී ඒ නිවසේ සිට පිරිමි ලමුන් කිහිපදෙනෙකුත් ගැහැනු ලමුන් දෙදෙනුකුත පාසැල් ගියා මට මතකය..
පවුලේ පිරිමි දරුවන් සියලු දෙනාටම නමේ මුල කොටසට සෝමේ යනුවෙන් තිබුනා මතකය.. පාසැලේ අනෙකුන්ටත් එය මතක තබා ගැනීම උගහට වූ නිසාම.වැඩිමහලු සෝමේ..ලොකු සෝමේය,දෙවැන්නා පොඩි සෝමේය තුන්වැන්නා හොටු සෝමේය…. ( ඔහු නිතර සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙලුනු නිසා විය හැක.)

සතියකට අඩුම වශයෙන් තුන් හතර වතාවක් සෝමෙලා ට්‍රිබල ත් විජේත් අතර ඇතිවන ගුටිබැට හුවමාරුව නිසාම නිතර නිතර එවකට විදුහල්පති වූ අයි.එම්. ජයසූරිය මහතාට හෝ ජිනරත්න මහතාට සිව් දෙනාටම අමතක නොවන වේවැල් කසාය ලබා දෙන්නට සිදු වූබව මට මතකය.

මේ ගැටුම් වලට බොහෝ විට හේතුවූයේ…සෝමෙලා විසින් විජේ …හෙලාතලා දැමීම බව..මට දැන් දැන් සිහිපත් වේ…
නිවෙස් දෙකෙහිම පියවරුන් ගොවිතැන් බත් කරන්නන් වුවද…සෝමෙ ලාගේ පවුල හා සසදද්දී..විජේලා හිටියේ අන්ත දු:ඛිත තත්වයකය. විජේ පමනක් නොව පවුලේ අනෙකුත් සාමාජිකයින්ටද පාසැලට අදින්නට තිබුනේ කිහිප විටක් තැනින් තැන එලලන ලද ඇදුම්ය.

සෝමෙලා පොඩිවිජේගේ නැතිබැරිකම පිලිබදව නින්දා කලෝය…ඇතැම් විටෙක කොල්ලන් රෑනක් පිරි වරා පිට්ටනියේ සිටින විජේ දකින ලොකු සෝමේ…
” ආ..දංකුඩ්ඩා…” යනුවෙන් නින්දා කලෝය…
කෙසේ වෙතත් අවසන විජේට පාසැල් භූමිය තරම් තමන් නින්දා විදින අන් තැනක් නැති තරම් යැයි සිතෙන්නට ඇති බව අපට දැනෙන්නේ…ඔහු පාසැල හැර දමා ජීවත්වීමේ සටනට මුහුන දෙන්නට තීරනය කල නිසයි..

ඔහු පාසැල අත් හලේය..සෝමෙලා තිදෙනාද…වැඩිපුර අධ්‍යාපනය ලබන්නට හපනුන් නොවූ නිසාම පාසැල් ගමනට නැවතීමේ ලකුන තිබ්බේ..ඒ සමයේමය්.

පාසැල් ආරාවුල ලේසියෙන් අමතක කරන්නට විජේට නුපුලුවන් වූ බව පසු කලෙක සිදුවූ බොහෝ දේවලින් පසක් විය..

රැකියා විරහිත පොඩිවිජේ ගේනීත්‍යානුකූල නොවන මත්පැන් නිෂ්පාදන ය පිලිබද ව පොලීසියට මුලින්ම ඔත්තුව ලැබෙන්නේ…සෝමෙලාගෙනි…ඔවුන්ද පාසැල් ආරාවුල අමතක කොට නැති බව අපට පෙන් වන සාධකය එයයි.

අසල්වැසියන් වූ ඔවුන්ගේ ඊර්ෂ්‍යාව මුසු ද්වේෂය පොඩිවිජේ වෙත කොතෙකුත් එල්ලවන්නට පොඩිවිජේ ගේ පාර්ශවයෙන් සිදුවූ යමක් පිලිබදව දැනගන්නට නැත.

පසුකලෙක..හිරෙන් පැන්න මංකොල්ලකාරයෙකු වූ පොඩි විජේ අල්ලා ගැනීම සදහා පොලීසියට සහාය දීමට..නීතිගරුක අනෙකුත් ගම්වැසියන් ට පෙර පෙරමුන ගන්නට මේ අයියා මලෝ සමත් විය.
මේ යුගයේ පැවති රජයට..බොහෝ සෙයින් සහාය දැක්වූ සිරී නම් තරුනයා ( ගම්මු ඔහුව තාර සිරී නමි හදුන්වති ..) රජය විසින් ප්‍රධාන මාවතට තාර දැමීමේ කොන්ත්‍රාත්තුව බාර දී තිබුනේ ඔහුටය.. ඔහුද පොඩිවිජේ සෙවීම සදහා පොලීසියට සහය පලකල ගම් නායකයෙකි. එලෙස පොලීසියට සහයෝගය දැක්වූවන් අතරින් තවත් ජනප්‍රිය චරිතයක් වන්නේ සිරිල් ය.( ගම්මු ඔහු හැදින්වූයේ කරාටේ සිරිල් යනුවෙනි ) කරාටෙ කලු පටි ශූරයෙකු වූ හෙතෙම නීති ගරුක පුරවැසියෙකු ලෙස ඊට දායකත්වය දැක්වූවා.

සෝමෙලාගේ පලහිලව්වට පෙර ඔබ දැනුවත් විය යුතු තවත් සුවිශේසී දවසක් ගැනත් සටහන් කල යුතුයි.

මේ 1978 – 79 විය යුතුයි.පොඩි විජේ ගේ බිරිය තම කුලුදුල් දරුවා ලැබීමට ඇගේ මහ ගෙදරට ගිය පසු ආපසු….ජයන්තිපුර පැමිනියේ නැත…යසවතීට උපන්නේ..යස දැරියකි. ඈ දියනියක වැදූ එම රෝහලේදීම ඉන් දින දෙක තුනක් අතරේ මටද යස නිවුන් කෙලි පැටික්කියන් දෙදෙනෙකුගේ මවු වීමේ වරම ලැබුනු බව…සතුටින් ලියා තැබිය යුතුය.

එකතරා රාත්‍රියක…මහ ගොඩක් රෑ බෝවී තිබුනේ නැත. තාත්තාගේ සංගමය විසිර ගියා පමනක් විය යුතුය. මගේ පියා ඔහුගේ කුලුදුල් මිනිපිරියක ගේ හැඩුම නවතන්නට උත්සාහ කරමින් සිටියා මට මතකය. ඔහු ගේ ආගමනය අප කිසිවෙකුත් දුටුවේ නැත.
” මාමේ…”
අප නිවසේ සාලය මැද ඔහු හිටගෙන සිටී…සැබැවින්ම මගේ උගුර කට වියැලී ගොස් මුව ගොත ගැසිනි.දැරිය ද ඔසවා ගත් තාත්තා ද ගල් ගැසී බලා සිටී.
” මාමේ…බඩගිනියි කන්ඩ දෙයක් නැද්ද…?.”

ඔහු ඇද සිටි ඇදුම පිලිබදව මට නිිච්චියක් නැත. ඔහු අත තිබූ ගිනි අවිය පමනක් මට මතකය…

“ඇයි පුතේ..මේ…දැන් පොලීසියට අහු උනොත් උඹව ඉතුරු කරන එකක් නෑ… ඊට වඩා හොද නැද්ද පුතේ පොලීසියට ..බාර වෙයං…අර.මහ මිනිස්සු අනිවාරතේ දුක් විදිනව.”
අපේ අම්මා මගේ අනිත් දරුවා වඩාගෙනම කියවන්නීය.මගේ යටි සිත වධ දුන්නේ…පොලීසිය දඩ බල්ලන් සේ ලුහු බදින අපරාධකරුවෙක්..ගෙට වද්දාගැනීමේ ප්‍රථිඵලයේ බිහිසුනු බව සිහිවීමෙනි.

කලබලයක් නොපෙන්වු තාත්තා..ඔහු අත වූ දරුවා මා අතට පත් කරද්දී..යලිත් කලබලයක් පෙන්වූ පොඩි විජේ තමුන්ගෙ අතේ තිබුනු ගිනි අවිය ප්‍රවේශමෙන් පුටුව ක් උඩින් තිබ්බා.

” නංගී අනේ දරුවා ටිකක් දෙන්ඩ ”

අප තිදෙනාම..සෙල්මුවා පිලිම වගේ බලා හිටියා. දරුවා වඩා ගත්තු පොඩිවිජේ ඉතා හිමීට දරුවගෙ හිස සිප ගත්තා..
” නැන්දෙ..මගෙ කෙල්ලත් මේ වගේ ඇති…නේද”

ඒ දරුව ගැන හිතල ඔය ජරා වැඩ වලින් අයින් වෙයන් පුතේ..පොලීසියට බාර වෙයන් පුතේ..”

” බාර වෙනව..බාර වෙනව..ඉවර කරන්ඩ ඕන වැඩ දෙක තුනක් තියෙනව..ඒක ඉවර වෙච්ච ගමන් පොලීසියට බාර වෙනව නැන්දෙ ”

අනතුරේ තත්වය දන්නා තාත්තා. කඩිනමින් .අම්මා ලවා ලොකු බත මුලක් බැදපොඩිවිජේ අතට දුන්නා…
” ලමයො පොලීසියට පිටිනුත් කන්ඩායං ගෙනැත් තියෙන්නෙ..ඉක්මනට යන්ඩ..”

ඒ මම පොඩිවිජේ ජීවතුන් අතර දී දුටු අවසාන දවස. පොඩිවිජේගේ පිටත්ව යාමත් සමග තාත්තා වහා ගෙයි දොරගුල් දැමුවා..
පසුව..ඔවුන් දෙදෙනාම මහගිරි දඹේ නැංගාක් මෙන් තදින් හුස්ම ගන්නවා මං දැක්කා,,,

ඔය විදියට පොලීසිය ඒ මේ අත ඉගිලෙද්දී..පොඩිවිජේ බොහොම හෙමින් ඒ මේ අත සැරි සැරුවා….
අපේ නිවසට පොඩිවිජේගේ පැමිනීමෙන් හරිය ටම දවස් හතයි ගතවෙලා තිබුනේ…

ඉර සුදුකන්දට මුවාවෙන්න ඔන්න මෙන්න කියා තිබුනා…මහ ඇල මහ දිය කදක් අරගෙන තඹ්ලවැවෙ සිට….ඇතුමල්පිටිය දෙසට ගලා ගියා…..සෝමේ ගෙ පවුලේ තුන්වැනි සෝමේ..කුඹුරට ගොස් ඇවිදින් මහ ඇලේ නාමින් හිටියා…ඔහුට පහලින් ජයන්තිපුර හංදිය තෙක් වන ඇල මගේ ගැහැනු මිනිස්සු බොහෝ පිරිසක්…දාහය නිවාගනිමින් හිටියා.

පොඩිවිජේ..කොහෙන් මතුඋනාද කවුරුත් දන්නේ නෑ.ඇලේ දියේ ගිලී එක්වරක් මතුපිටට පැමිනි කණිටු සෝමේ ගේ ඇස් බියෙන් විශාල උනා.
ඇල ඉවුරේ..සිට සෝමේ දෙසට ගිනිඅවිය මානාගෙන සිටි පොඩිවිජේගේ දෙනෙතේ මිනීමැරුම් චේතනාව හොදින් පිලිබිඹු උනා.

සෝමේ අත් ඉහලට ඔසවා කෑගසන්නට හෝ පැන යන්නට තැත් කලා විය යුතුයි
අනුකම්පා විරහිත උන්ඩ කීපයක්..සෝමෙගෙ හිසට පපුවට එල්ලවුනා.
මරණීය තුවාල ලැබූ සෝමේගෙ සිරුර ඇල මාවතේ පහලට ගසාගෙන යද්දී..කිසි කලබලයක් නොපෙන්වු..පොඩිවිජේ ඇල මාර්ගයේ පහල දියනාමින් සිටි පිරිසට කෑගැසුවා.
“අයින් වෙයල්ලා..ඔන්න ජරා කුණුගොඩක්..ගහගෙන එනවා..”.කියා..ඇලේ දිය නාමින් සිටි ගැහැනුන් විලාප තබමින් හිස් ලූ අත දිව ගියා…

පොඩිවිජේගේ…පලමු මිනිස් බිල්ල.

දැන් ඔහු මංකොල්ලකරුවෙක් පමනක් නොවෙයි..මිනීමරුවෙක්……

******** *************** ****-***** **

මේ එදිනම රාත්‍රියයි සවස් කාලයේ ඝාතනයට ලක්වූ සෝමේගේ මෘත දේහය..ඒ වනවිටත් පොලොන්නරුව රෝහල් මෘතශරීරාගාරයේයි.

ඇල මාර්ගය හරහා වැටී ඇති ඒ දන්ඩ දිගේ ලොකු සෝමේ තමුන්ගෙ ගෙදරට යමින් හිටියා…මල්ලීට වෙඩි තැබූ පොඩිවිජේ තමා අත් හරීයැයි විශ්වාස කල නොහැක.

ඔහු තරයේ ගත් කඩුව..තව දුරටත් තමාට නතු යැයිසහතිකයෙන්ම ගෙට ගොඩ උනා.

කණකොකෙක් අව්‍යක්ත භඩක් නංවමින්..සෝමේ..ගේ වහල උඩින් ඉගිලී ගියා…මාවතේ..එක් තැනකින් උඩුබුරා හැලෙන බලුරෑනගේ හඩ බෝඋනා වගේ ගම ඇතුල් පැත්තෙන්නුත් ඇහුනා….

.තමුන්ට අනතුරක් නැති බව සහතික කරගත් ඔහු ගෙටවැදී දොරගුලු දැම්මා..

ඔහු නොදැන සිටියාට ඒ මාරයාගේහෝරාවේ..ඔහු පසුපසින්ම ඝාතකයාද පැමින තිබුනා…පොඩිවිජේ තම අත වූ ගිනි අවිය…සෝමෙගේ ගෙදර බිත්තියට හේත්තු කලා..
..දෙඅත් එකිනෙක තෙරපා ගත්තු…ඔහු උගුර පෑදුවා….
” සෝමේ…මං පොඩිවිජේ…දොර ඇරපං..මට උඹෙන් සමාව ගන්න ඕන..මංං ආයුධනැතිව ඇවිත් ඉන්නෙ..”

සෝමෙ…ට මරණ භීතිය දැනුනා…….බිරිද ..දොර නාරින ලෙසට සෝමේගෙන් ඉල්ලා හිටියා..

කෝකටත්..සෝමෙ..දොරෙහිවූ සිදුරකින් පිටත බැලුවා…සැබෑවකි…පොඩිවිජේ නිරායුධයි…..සෝමෙ බිරිදත් දරුවනුත් ඇතුලු ගෙට දමා දොර විවර කලා…සෝමේ තදින් කඩුව අල්ලාගෙනය් සිටයේ….

” උඹට මොනවද තව ඕන …කියපන්…”
සෝමේ බියපත් තම හැගීම් වසාගෙන දෙඩෙව්වා.

” ඇයි සෝමෙ උඹල මගෙ ජීවිතේ විනාශ කලේ..
මමයි මගෙ එවුනුයි උඹලට කල වරද මොකක්ද….ඇයි..ුඹල මට මෙහෙම කලේ..”

සෝමේ පිටුපසට තබාගෙන සිටි කඩුව සහිත අත ඉහලට එසෙවුවා………………….

————————————————————————————————————————————

 හයවන කොටස
 14593236_820856784715449_1443541487_nසෝමේ….ගෙ කඩුපත…පොඩිවිජේ ගෙල දෙසට පහත්වීමට තත්පරයෙන් සියයට දශම යක් තබා පොඩිවිජේ..කඩුව අල්ලා ගත්තා……අනතුරුව පොඩිවිජේ සෝමෙ..ගෙ පපුවට අත තබා තල්ලු කලා…නිරායුධ සෝමේ ඇදගෙන වැටුනෙ……. නිවසේ ඉස්තෝප්පුවෙ තබා තිබූ ඇදක් මතටයි… කඩුව විසි කල..පොඩිවිජේ යලිත්…තම…දබරගිල්ල ඇද මත උඩුබැලි අතට වැටී සිටි සෝමෙ වෙත යොමු කලා..

” තොපි වගෙ පාහරයො…..ජීවත් වෙලා හිටියොත්…..අපේ දරුවන්ට ත් වෙන්නෙ…හොරු මංකොල්ලකාරයෝ වෙන්ඩ..තමය් යකෝ..
.. මං කුලී වැඩ කලා..තොපි ඒක මට නැති කලා..වැඩ කරපු ඉඩමෙ අයිතිකාරයට තොපි කීව..මං ඉඩමෙ එලවලු හොරට විකුනනවා කියල..පස්සෙ මං..කසිප්පු පෙරුව….තොපි පොලීසියට ඔත්තු දුන්න…මං..කඩයක් දා ගත්ත තොපි කිව්ව…මං රෑට හොරකමේ යනව කියල..අන්තිමේ නොකල වැරැදි ගොඩකට මාව හිරේ දැම්ම..තොපි මගේ ගේ ගිනි තිබ්බ…
දැන් පිස්සු බල්ලෙක් වගේ..මං කැලේ දුවනව..කන්ඩ නෑ නිදාගන්ඩ.නෑ..මට ජාතක වෙච්ච දරුව දකින්න මට විදියක් නෑ තොපි ජාති වයිරක්කාරයෝ………… යකෝඕඕඕ….
පොඩිවිජේ වෙඩි වැදී තුවාල වුනු ව්‍යාඝ්‍රයෙක් වගේ මහ හඩින් ගෝරනාඩු කරන ගමන්ම ගිනි අවිය අතට අරගෙන වියරුවෙන් වගේ..සෝමෙට වෙඩි තිබ්බ…

ගෙතුල සිටි සෝමෙගේ…බිරිය.. මහ හඩින් කෑගැසුවත්…මේ අවිචාර සමයේ ..කිසිදු නිවසක දොරවල් ඇරුනේ නැහැ…තව තවත්..තදින් දොරගුලු දමාගත්තා මිසක්….

ඒ වන විට පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරී ටෙරන්ස් පෙරේරා මහතා….පොඩිවිජේ අල්ලා ගැනීමේ මෙහෙයුම් වඩ වඩාත් ව්‍යාප්ත කරලයි තිබුනෙ…නිල ඇදුමින් සැරසුනු සහ සිවිල් වැසියන් සේ වෙස් වලාගත් පොලිස් නිලධාරී කන්ඩායමක්..නිරතුරු..තඹලවැව ජයයන්තිපුර ,ගිරිතලේ , ආවරනය වන පරිද්දෙන් ජංගම පොලිස් රතයක් ඒ මේ අත දිව යමින් තිබුනා…..

පොඩිවිජේ ගේ නිවසේ ඉතිරිව සිටි මව ජයන්තාත් ඊට බාල අනෙක් දරුවන්ද රැගෙන ගෙදරින් පිට උනා…සවස සිදු වූ ඝාතනයත් සමග..කුපිත වුනු පිරිස් වෙතින් යම් බිහිසුනු යමක් වේයැයි මව සිතුවා වන්නට ඇත.

සෝමෙගෙ මහ ගෙදරට පොලිස් ආරක්ෂාව දුන්නා..ඒ රාත්‍රියේ..අසල්වාසී බොහෝ පිරිසක්ද ගිනි අවිගත් පොලිස් නිලධාරින් දෙදෙනෙක්ද ඇතුලුව…මහ ගොඩක්…නිදිවර්ජිතව උන්නා. දැන් මේ නිවසෙ…පොඩිවිජේගෙ තර්ජනයට ලක්වියහැකි යැය් සැක කරන එක්කෙනයි හිටියෙ ඒ පොඩි සෝමේ…

ඔහු සාලයේ තබා තිබූ පුටුවක හිස අත් තබාගෙනවාඩිවී සිටියා..නිවස තුල කාන්තාවන් අඩා වැලපෙනු ඇසුනා…
මිදුලේ තැන තැන කුඩා කණ්ඩායම් ලෙස වාඩිවී සිටි අසල්වැසියෝ..විවිධ මත පලකරමි සිටියා…..
පහන් වන්නට..තවත් හෝරා..කිහිපයක් පමනයි තිබුනේ…ජයන්තිපුර ජනපදයේ ප්‍රතම වරට ද්විත්ව ඝාතනයක් සිදුව තිබෙනවා..ඒ ද අයියා හා මල්ලී……ය. මේ තත්වය මත පොඩිවිජේ සෙවීමේ මෙහෙයුම් වලට දායකත්වය දැරූ ගම්වැසියෝ…බියෙන් ත්‍රස්ත වී හිටියා….

පොඩි සෝමේ… නිවස පිටුපස..වැසිකිලිය වෙත ගියා…ඔහු වැසිකිලියට පිවිසීමට ගියත් අවශ්‍යතාවය..බරපතල එකක් නොවන නිසා වැසිකිලියෙන් මදක් ඔබ්බෙන් පිහිටි හිගුරු ගාලකින් ආවරණය වූ තැනක කර්තව්‍යයට සූදානම් වූ ඔහුට ඉබේම සුලු දිය පහවුනා…
ගිනි අවිය මානාගත් පොඩිවිජේගේ බිහිසුනු රෑපකාය…ඔහු අභියස….කිසිවක් සිතන්නට හෝ ..කාලයක් තිබුනේ නැත.

පලාත දෙදරවූ වෙඩි හඩ ඔස්සේ දිව…ආ පිරිසට දකින්නට ලැබුනේ.. ලේ ගංගාවක් මත ඒ වන විටත්..මරු විකල්ලෙන් ඒ මේ අත නලියන… පොඩි සෝමෙ ය…

සවස 6.00.න් පසු..සියලු නිවාස වල දොරගුලු වැටිනි..මංමාවත් පාලුවට ගියේය. මේ ත්‍රිත්ව ඝාතනයත් සමග මහ ජනයාගෙන් පොලීසිය වෙත එල්ලවූ චෝදනාවද බරපතල විය.

පොලීසියද වෙඩිකාපූ ඌරාගේ තත්වයට වැටී තිබුනේය…පොඩිවිජේ හා සබදකම් පැවැත්වූයේ යැයි සැක කරන සියලු දෙනා පසු පසම පොලීසිය ලුබැන්දේය…

අපේ නිවසේ තත්වයද සුබවාදී නොවීය…සවස් යාමයේ සංගමය රැස්වූ අඹගසයට කණ්ඩායම් ගැසීම නවතන්නට සිදුවී තිබේ..එකක් පොලිසිය ,අනෙක පොඩිවිජේ…..ය.
ඇතැම් දවසක මවගේ අනතුරු ඇගවීම්..පියාටය.
” මේ ..ආයේ හදිසියේවත්…..පොඩිවිජේ ආවොත්..අපිටත් හිරේවිලංගුවෙ වැටෙන්ඩ වෙයි…….?”

තාත්තාගෙන් උත්තරයක් නැති තැන..අම්මා ආයෙත් කංකෙදිරි ගාන්නේය.

” මං කීව දේ ඇහුනද ඔයාට…අපි නිකං අනීවාරතේ කරදර වලපැටලෙයි..ඒකයි….මං..”

පොඩිවිජේගේ එවැනි ආගමනයක් සිදුවෙතැයි තාත්තාද බියෙන් පසුවන බව ප්‍රකට වූයේ ඔහුගේ අසීමාන්තික කෝපය දුටු විටය.

” ඇයි..ඕයි…කියවන් නැතුව ඉන්නවකො …..මූද හත් ගව්වක් තියා අමුඩ ගහන් නැතුව….මං මේ රැවුල පත්තුවෙලා ඉන්නව..මේ ගෑනී එනව සුරුට්ටු පත්තු කරන්ඩ..”

අපට සිනා පහල වූයේ නිතැතිනි.තාත්තා අම්මා සමග කෝප ගත් බව අපට වැටහෙන්නේ..ඔහුගේ පාරිභාෂික ශබ්ද මාලාවට ඕයී..තමුසේ…අයිසේ…එකතු වූ විටය.

තත්වය සමනය කරන්නට..මම ඉදිරිපත්
වෙමි.

” අම්මා කලබල නැතුව ඉන්ඩකෝ..තාත්තත් පොඩිවිජේ එයි කියල බයෙන්නෙ ඉන්නෙ…””

“ඒකනෙ ලොකුදුවේ..කියන්නෙ..”

තාත්තා බියවී සිටින්නේ…හදිසියෙන්වත් ” මාමේ. බඩගිනියි …කියාගෙන පොඩිවිජේ එතැයි ද එසේ වූ කලී පවුල් පිටින් ම මහ උලුගෙයි බත කන්නට සිදු වෙතැයි කියාය..
තවත් පිරිසක් බියවී සිටින්නේ….පොඩි විජේ එතැයිද එසේ පැමිනියහොත්..ඔහු අත වන තුවක්කු කටෙන් කලුකුඩු බස්නය ලැබේයැයි කියාය.

අද මෙන් මාධ්‍ය අංශ..පුලුල් නැති එකල දිනපතා පත්තරයේ එල්ලී ගත් රට වැසියෝ පොලොන්නරුවෙ පොඩිවිජේ ගැන කියවන්නට යුහුසුලුවූහ.

ටෙරන්ස් පෙරේරා පොලිස් අධිකාරී වරයා ඉහලින් ලබාගත් අනුමැතියකට අනුව පොඩිවිජේට දුටු තැන වෙඩි තබන්නට නියෝග කරන ලදී.

මේ දැන් පොඩිවිජේ අසවල් තැන හිටියායි කියා තොරතුරු ලැබුනු විටෙක පොලීසිය අදාල ස්තානය වටලන්නේ අසුරු ගසන වේගයෙනි.

පොඩි විජේ විදුලියක් බදුවිය..වරෙක පොලිස් කන්ඩායම් වෙඩි වරුෂාවකට මැදිවූ..පොඩි විජේ සීරුම් පහරක්වත් නොවී පලා ගියේය…

පොඩි විජේට වෙඩි වදින්නෙ නැත්තෙ.. මිනිහ හෙණරාජ තෙල සුරේකට දාලා කලව පලල ඒක කලවෙ තැන්පත් කරගෙනලු..

මේ කතන්දර මට ඇහුනෙ…තාත්තාගේ අරුමැසි සංගමයේ…කතා බහ අතුරින් බව ලියා තැබිය යුතුය….ඔවුහු..පොඩිවිජේට හෙණරාජ තෙල ලැබුනු හැටිද කතා බහ කලේය.
ගිරිතලේ සුදු කන්ද පැත්තෙ තියෙන නිදානයක් ගැන නිදන් වදුලෙන් කියවූ..මරදන්කඩවල යකඩයා ( ඔහු ද කලෙක ට ඉහත පොලොන්නරු වේ රජ කල දාමරිකයෙකි)

පසු කලෙක ඔහුගේ විනෝදාංශය වූයේ ඔහු ලග තිබුනේ යැයි කියන නිදන් වදුලක් ආශ්‍රිතව නිදන් සෙවීමය.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දත් ඔහු කැලේට සීමාවී සිටින පොඩි විජේ නම් දාමරිකයාට එවැනි උපකාරයක් කලේලු..

එතැන් සිට පොඩි විජේට වෙඩි නොවදින බවට පසිදු විය.

තඹලවැව ජලාශයේ නැගෙනහිර මායිමේ පිහිටි යෝධ නුගරුක ඇතැම් විටෙක ඔහු සොයා යන පොලිස් නිලධාරීන්ගෙන් සැගවී සිටීමට කදිම නිවහනක් විය..මේ යෝධ නුගරුක මුල ගම්මු ගණ දෙවියන් ගේ පිලිරුවක් තබා ආවතේව කලෝය..
අද ද එම නුග රුකමුල ගණ දෙවියන් උදෙසා වත් පිලිවෙත් සිදු කරති….

ඇතැම් දිනෙක කැලයෙන් එලියට එන පොඩි විජේ මේ පිලිරුව අභියස පහන් දල්වා පලතුරු පූජා කරන්නේය. ඇතැම් දවසෙක පොඩිවිජේ ගණදෙවි පිලිමය ඔසවාගෙන ගොස් වැව් දියට අත හරින්නේය…දිය රැල්ලේ වැදී ගොඩට පාවෙන පිලිරුව ඔසවා නැවත දියඹට විසි කරන්නේය.( ගණ දෙවියන් එවැනි කෙලි සෙල්ලම් වලට කැමතිලු ).
අවසන මහා බැතියකින් දේව රූපය ගස මුල හිදුවා තබා හෙතෙම වන වදින්නේය…

” හොරාට ගණ දෙවි නුවන පිහිට වන්නේය ” පිරුල කෙසේ වෙතත්…පොඩි විජේට තඹලවැවේ ගණපති පිහිට ඇති බවට ප්‍රචාරය විය.
පොඩිවිජේ වැව වෙත පිවිස ගණ දෙවියන් හා මේ කරන ගනුදෙනු ගම්වැසියෙකු දුටුවත්..ඔහු ඒ බවක් පොලීසියට දැනුම් දෙන්නට හීනෙකින්වත් සිතුවේ නැති බව සහතිකය…
වෙඩිකා මැරෙන්න කවුද කැමති..

මේ ගණදෙවි වන්දනාව පිලිබද ආරංචියෙන් තදින් කෝපවූයේ..පොලිස් අධිකාරි වරයාය..එක්තරා දිනෙක…පොලිස් අධිකාරී වරයා..මේ ගණ දෙවි පිලිමය කඩා සුනු විසුනු කර දැම්මේය.
එපමනක් නොව තව දුරටත් පොඩි විජේ පිලිබද තොරතුරු දැන දැනම සගවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට තර්ජනයක්ද කලේය.

———————————————————————————————————————————————————————————————————–

හත්වන කොටස
14608175_820856738048787_1116561073_n
ඉස්සර…කාලෙකට ඉහත අපි අගනුවර ට ගියාම..එහෙ අය අහනවනෙ..අපි පොලොන්නරුවෙ කොහෙද ? කියල හොදම විදිය ගම ගැන කියන්න.
” අර පොඩිවිජේ හිටියෙ…. අන්න එහෙ තමා ” කිව්වම ආයෙ ඉතින් මුල ඉදල කියන්න වෙන්නෙ නෑ……

ත්‍රිත්ව ඝාතකයෙක් වුනු…පොඩිවිජේ…..වෙඩි නොවදින පොඩිවිජේ වුනා…..පොලීසිය…රැයක් දවාලක් නැතිව…කැලෑ..සැක සහිත නිවාස ආදිය පීරන්න ගත්තා…ඔය සමයේ පොලොන්නරුව පොලිස් ස්ථානයට අනුබද්ධව සේවය කලා උපුල්දෙනිය කියල සැරයන් වරයෙක්……එක දවසක් ගමපුරා කතන්දරයක් ප්‍රචාරය උනා හිගුරක්ගොඩ ප්‍රදේශයේ අප්‍රසිද්ධ අවන් හලක් තුලදී පොඩිවිජේ සහ උපුල්දෙනිය සාජන් මහත්තය මධු සාදයකට සහභාගී වුනා කියල..

ඒ කතාවෙ ඇත්ත නැත්ත මම අදටත් දන්නෙ නෑ…කටකතා කියන ඒවාට පියාපත් තියෙනවානේ…
ඒ කතාව සම්බන්ධයෙන් අපෙ අම්මා අදහස් දැක්වූයේ…” ගින්නක් නැතිව දුමක් නගිනවායැ..” කියලයි..
තාත්තා සාමාන්‍යයෙන් අම්මාගේ අදහස් දැක්වීම් වලදී අනිවාර්‍යෙන්ම ඊට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනවාමයි. හරියට පාර්ලිමේන්තුව වගේ.

” ගෑනුන්ගෙ හැදිමිටේ දිග මොලේ…නෙ..ඔය කිව්වෙ….”
විවිධ අයුරින් කටකතා ඉගිලුනා.පොඩිවිජේ ද නොඑසේනම් ඒ ගිනුමට බැරවෙන්න වෙනත් කන්ඩායමක් කලාද දන්නේ නෑ. ප්‍රාදේශීය වශයෙන් ජනප්‍රිය බොහෝ ස්ථාන කොල්ල කෑම් වලට ලක් වුනා.
ගිරිතලේ පිහිටි ඉන්ධන පිරවුම් හල ත් එය අයිතිකරුවාගේ නිවසත් එසේ කොල්ලකෑමට ලක්වූ ස්තානයක්.ඉන් කොල්ලකාගත් මුදල ලක්ෂ ගණනක්….( එම ඉන්ධන පිරවුම් හල අයිතිවී තිබුනේ..එවකට හාරිස්පත්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකුටයි.) පොඩිවිජේ විසින් මංකොල්ලකන ලද මුදල් වලින් කොටසක් පොලීසියට අල්ලස් ලෙසිනුත්, කොටසක් තමා හිරේ විලංගුවේ වැටුනු කලෙක නඩුහබ සදහා හෝ තමා මියගියහොත් පවුලේ අයට ජීවත්වීම සදහාත් යැයි කියා එම මුදල් එක්තරා පුද්ගලයෙකු ලග ආරක්ෂාව පිනිස තැබුවා කියා…ද ප්‍රාදේශීය මට්ටමේ පුවත් මැවුනා….

ජයන්තිපුර මැදිකොට වටේම වපසරිය හතරැස් සැතපුම් 10 – 15 ක් වටාපිටාවේ ජනතාව බියෙන් තැතිගැනී ජීවත් උනා..කොයි මොහොතේ මංකොල්ල කල්ලියක් තම නිවස බිදිතැයිද, පොඩිවිජේ පොලීසියට අල්ලා දීමේ ව්‍යාපෘතියට දායක වූ ප්‍රජාව බියෙන් හිටියේ කොයි මොහොතේ ගිනි බටයක් සමග පොඩිවිජේ තම නිවසේ ප්‍රාදුර්භූත වේදෝ කියන බියෙනි.
එවැනි ඇතැම් නිවෙසක..රාත්‍රී කාලයට පවුලේ සියලු දෙනාම වැසිකිලි පහසුකම් සදහා ගෙයින් පිටතට නොගොසින් නිවසතුලට ගත් බාල්දි බේසම් ආදියට ඒ කර්තව්‍ය සිදු කලාලු..
මරණ බියට වඩා දෙයක් තියෙනවද..?

දින දෙක තුනක් පොඩිවිජේ ගම්වැදුනු බව ආරංචියක් නොමැතිව ගත වුනා…ඔබට මතක ඇති මේ ලිපි පෙලේ ඇතැම් තැනෙක මම සදහන් කලා සිරී ලා දෙදෙනෙකු ගැන.
කරාටේ සිරිල් සහ තාර සිරී…..කරාටේ සිරිල් ( අපේ අඹගහමුල සංගමයේ ඇතැමුන් කීවේ කරාටී සිරිල් කියලයි ) ගෙ නිවස පිහිටලා තිබුනෙ ජයන්තිපුර හංදියේ ඉදල තඹලවැවට පිවිසෙන මගේ ඇලෙන් එගොඩයි…. පොඩිවිජේ ගේ මරණ ලැයිස්තුවේ….ඔහුට හොද තැනක් තිබුනා…. සෝමෙ ලාගෙ ඉරණම් ගමන තීන්දු කල ගිනි අවියද අතැතිව මේ රැයේ පොඩිවිජේ සිරිල්ගෙ නිවසට ගොඩ වැදුනා…..සිරිල් පොලොන්නරුව මහ රෝහලේ සේවය කල සාත්තු සේවකයෙක්….එක දිගට දිවා රාත්‍රී සේවාවන් දෙකක් කරල ඇවිත් හිටිය සිරිල් මරණය වැලදගත්තා ක් මෙන් තද නින්දේ හිටියේ….එහෙත් ඔහු ට වන සතෙකුට වගේ ඉවක් තිබුනා…පොඩිවිජේ …ගිනි අවිය එල්ල කරන්නට හිතන්නටත් පලමුව සිරිල් දුන්නක් වගේ ඇදෙන් පැන්නා….

පොඩිවිජේ ගේ ඉලක්කය වෙනස් වුනා..ජීවිතයත් මරණයත් අතරේ වෙනස කෙස් ගහයි…වේගවත් වූ මිනිසාටයි ජීවිතය….දෙවියන් තීන්දු දෙනතුරු හිදීම …????
————————————————————————————————————————————–

 අටවන කොටස
14606315_1145864452157035_521415694133977457_nපොඩිවිජේගේ ගිනි අවිය …පෙරසේම තවත් ජීවිතයක් නසන්නට උන්ඩයක් නිකුත් කලා…එතැනදි නම් මම දෙයියො…බේරුවා කියන්නෙ නෑ…ඒ සිරිල් ප්‍රගුන කල සටන් කලාව…පොඩිවිජේගේ නොවරදින ඉලක්කය පරදවන්නට…ඒ සටන් කලාවට හැකි උනා..
පසුවදා සවස අඹගහ යට සංගමය.. විස්තර ප්‍රචාරය කලා.

” බලනවකො…ඊයේ පොඩි විජේ කරාටි සිරිල් ව මරන්ඩ ගිහින්ලුනෙ…..මිනිහ…උඩ ….පැනල බුරුස් ලී ඇට්ටිං දෙකයිලු දුන්නෙ..පොඩිවිජේ ආ ගිය අතක් නෑ.”

කොතෙකුත් නවිකට් සිගරට්ටුව..මුවේ රන්දාගෙන සිටින ……….. මහත්තයා පවසයි….

සිරිල් මරා දමන්නට තැත්කල පොඩිවිජේ පසුදින මහ දවාලේ…ඔහුට විරුද්ධව පොලීසිය හා සම්බන්ධකම් පැවැත්වූ තාර සිරී ව අල්ලාගෙන තිබුනේ..තඹලවැව වැව් බන්ට් එකේදීය… ඔහුට අයත් යතුරු පැදිය පදවාගෙන ඉදිරියට එමින් සිටි සිරීට දවල් තරු පෙනුනේ..වැව් බැම්මේ වූ වරා පදුරු ගොන්නක් අසලින් පිටතට පැමිනි පොඩිවිජේ දුටු විටය….
යතුරු පැදිය හරවා ගන්නට කාලයක් හෝ නැත සිරි යතුරු පැදිය ද අතැර වැව් බැම්මෙන් වැව පැත්තට නොව අනෙක් පස්සට පනින්නට කල්පනා කලේය..එය ද මාරයාගේ හෝරාවය.

දිව්වත්…..ඝාතකයාගේ..තුවක්කුවෙන් තමාට ගැලවිල්ලක් නොමැති බව…ඔහුටම ඒත්තු ගොස් හමාරය…දැන් ඉතින් ගැලවීම පතා..පින්සෙන්ඩු වීම….

” අනේ මල්ලි..මං දරු පවුල් කාරයා…වෙච්චි…”
“එතකොට මං දරු පවුල් කාරයෙක් නෙවෙයි ද යකෝ…තෝ පොලීසිය ගෙදර තියාගෙන කන්ඩ බොන්ඩ දෙන්නෙ……”.

පොඩිවිජේ ඔහු මරන්නට තැත් කලේ නැත…එහෙත් සෑහෙන දවසක් තෙල් පත්තු බදින්නට සිද්ධ වෙන්න තරමට ඔහුට පහර දුන්නේය…පොඩිවිජේ පහර කා වැව් බැම්මේ වැටී සිටින සතුරා…අසලට ගියේට..සිරී ..තමුන මෙලොව ජීවත්ව්වන්නට තිබූ අවස්ථාව අවසානයි සිතා දෙනෙත පියාගති..

“සිරි අයිය මතක තියාගනිං..මම මේ උඹව බේරල යන්නෙ බයේ නෙවෙයි..මං ඉස්පිරිතාලේ ඉදිත්දි උඹ මට ලේ දුන්නා..එදා මාව ජීවත් කරන්ඩ ලේ දන් දුන්නු කෙලෙහිගුනේටයි මං උඹව අත අරින්නෙ..”

පොඩිවිජේට හසුවීත් සිරී බේරුනේ එලෙසය.

පොලිස් වෙඩි ප්‍රහාරයන්..පොඩිවිජේ සැගවීගත් වනාන්තරය දෙසින් කොතෙකුත් ඇසෙමින් තිබිනි. පොලිස් අධිකාරී වරයා පොඩිවිජේ සිටි ඉසව්ව වටලා තිබුනේ මදුරුවෙකුටවත් බේරිලා යන්න බැරි විදියටයි…පොලීසියට තිබුනු ලොකුම අවාසිය තමයි…පොලිස් නිලධාරි න් කිසිවෙකුත් පොඩිවිජේ මේ යැයි කියා හදුනාගන්නට නොහැකි වීම.

එක්තරා දිනෙක හරි අපූරු වැඩක් උනා…කිසිවෙකු හෝ පොලීසියට ඔත්තුවක් දී තිබුනා පොඩිවිජේ තඹලවැව ගම්මානයේ සිට ජයන්තිපුර දෙසට එමින් සිටින බවට..පොලිසියෙන් පුරවාගත් ජීප් රිය නැවතුනේ හංදියේ…ඔවුන් පිරිසක්…හංදියේ සිට තඹලවැව දෙසට ගමන් කලා තව පිරිසක් කෙලින්ම ඇවිත් නැවතුනේ අපේ නිවස ඉදිරිපිට..හරියටම අපේ නිවස ඉදිරිපිටින් පාරේ අනික් පසින් තිබෙන අතුරු මාවත වැටී තිබුනේ..ද ගම්මානයක් මැදින් ගිහින් ආපහු හංදිය පැත්තේ සිට තඹලවැව තෙක් වන මාවත ට වැටෙන්නය්…
මේ කියන වෙලාව…අපේ තාත්තා දිවා ආහාරයෙන් පසු ගන්නා..කුඩා නින්ද අවසන් කරල අම්මා දෙන සීනි අඩු තේ එක දෙනතුරු කල් මරන වෙලාවයි…

තේ එක එනතුරු පුරුදු විදියට කට පාඩම් කරන පත්තරෙත් අරගෙන… තාත්තා අඹගහමුල ට ගියා…

ඔන්න එතකොට තමයි පොලිස් බල ඇනිය එතෙන්ඩ ආවේ…

” ලොකු උන්නැහේ…..මේ පාර තඹලවැවට වැටෙනවද…?”

තරුන මදය සහිත නවක පොලිස් රාලහාමි කෙනෙක් තාත්තගෙන් ඇහුව….

පත්තරේ අකුලල..තාත්ත ඔවුන්ට මග පෙන්වන අතරේ…හදිසි වැටලීම ගැනත් අහන්න අමතක කලේ නැහැ…

” අපේ කරුමෙ මේ පොලීසියට ආවේ…මේ මිනීමරුවෙක් පස්සෙ අපි දුවනවා..ඔහෙලගෙන් නෑනේ කිසි සපෝට් එකක්..ඌ කලුද සුදුද දන්නෙ නෑ..ඔන්න දැන් ඌ මේ පැත්තට එනව දැකපු කෙනෙක් ලොකු මහත්තයට කියල…”

පොලිස් කන්ඩායමේ තුන් දෙනයි හිටියෙ..ගිනි අවි ටික කරේ එල්ලගෙන පොලිස් නඩේ අතුරු පාරට පිවිසුනා…

මේ මොහොතේ අතුරු පාරෙන් මතු වී පැමිනෙන මිනිසා දැකල..තාත්තගෙ දෙකකුල් පන නැතිව ගියා කියලයි පස්සෙ තාත්ත අපට කීවේ…
සරමක් කැසකවා ගත්තු තරමක මඩ තැවරුනු ඉරුනු කමිසයකින් සැරසුනු…පොඩි විජේ.. .. අතකින් යමක් පිරවූ ගෝනි මල්ලක් ද ඔසවාගෙන පොලිස් නඩය ඉදිරිපිටට එමින් හිටියා…

සිද්ධවෙන්න යන විපත්තිය…තාත්තාට දරාගන්න අමාරු බවක් දැනුනේලු… මෙච්චර කල් කැලේ හැංගුනු මේ ම්නිහා තමුන් ඉදිරියේ පොලිස් වෙඩි පහරට ලක්වන්නට යන බව සිහිපත්ව…කියා ගත නොහැකි වේදනාවක් පපුවට දැනුනේලු..
————————————————————————————————————————————

නවවන කොටස
14608050_820856671382127_1202331223_n
මට මතක හැටියට….පොඩිවිජේ පොලිස් අත් අඩංගුවට හෝ පොලිස් වෙඩිපහරට…ඔන්න මෙන්න කියා තිබියදී යි අපි 8 වෙනි කොටස නැවැත්වූයේ…

පොලිස් නිලධාරීන් දුටු විට පොඩිවිජේ පැන දුවන්නට ඇතැයි ඔබ සිතුවාද….මගේ තාත්තා හිතා හිටියේත් එහෙමලු…..කිසි වෙනසක් මුහුනින් හෝ නොපෙන්වූ පොඩි විජේ ඔවුන් ගේ මුහුනු දෙස එක එල්ලේම බලාගෙන බොහෝ අහිංසක…ගොවියෙකු විදියට තමයි ඇවිත් තියෙන්නෙ…පොලීසිය හීනෙකින්වත් හිතන්නෙ නෑ මේ එන්නෙ රටක් හෙල්ලූ එක දවසේ එකම පවුලේ තිදෙනෙකු මරා දැමූ ඝාතකයා කියා..ඔවුන්ගෙ සිතේ ඇදී තිබෙන්නට ඇත්තේ..මාරාවේශ වූ මිනිහෙකුගේ පෙනුමක්නෙ…ඉදිරියට පැමිනි කොලුවා ගැන කිසිසේත්ම සැක නොකල පොලීසිය..ටිකක් සද්දෙ දැම්මා…

” ඔහොම ඉන්නවා…තමුසෙ කොහෙද යන්නෙ…?”
හොරුන්ට ගණ දෙවියන් නුවන දෙනවා කියන එක ඇත්තයී…බොහෝ අහිංසක හිනාවකින් මුහුණ හදා ගත්තු…පොඩිවිජේ…

” අනේ සර්…කුඹුරට ගිහින් එනවා…ඒ ගමන් ම..කෙහෙල්මුව ටිකක් කඩේට දීලා සීනී තේ කොල ටිකක් ගේන්ඩ කියලා.. ”

තාත්තා කියන විදියට පොඩිවිජේ ඒ වෙලාවේ රගපාලා තියෙන්නෙ..මුවන්පැලැස්සෙ පිනා ගෙ චරිතය…අතේ තිබුනු ගෝනි මල්ලෙ තිබිල තියෙන්නෙ පොඩිවිජේ ගෙ කොටස් කිහිපයකට කැඩූ ගිනි අවියයි…

” තමුසෙ..පොඩිවිජේ ව දන්නවද..? “රාළහාමි කෙනෙක් ආයෙමත් ඇහුවා…..
“මගෙ අම්මෝ සර් කවුද ඔය මිනීමරුවො ගැන දන්නෙ… අපි කැත්ත උදැල්ලෙන් ජීවත් වෙන මිනිස්සු…..'”

පොලීසිය මේ ඔතෑනි මෝඩ ගොවිරාල අතෑරියා…” හා..හා…තමුසෙ යනවා…පොඩිවිජේ ඇවිත් උඹලගෙ ගෑනූ දරුවො උස්සගෙන ගිය දාට වරෙල්ලකෝ පොලීසිය හොයාගෙන ”

ඔලුව නිකට කහන මේ බයාදු කොල්ලා අත් හල පොලීසිය..යන්නට ගියා…හනිකට ගෝනිය කරගසාගත්..පොඩිවිජේ..ඔවුන්ට විරුද්ධ දෙසට ගමන් කලා….

සිදුවූ අදහා ගත නොහැකි අහම්බයෙන් කලබල වී සිටි තාත්තා…පොඩිවිජේ ගැලවීම දැක හිතට සතුටක් උපන්නද…ඉදිරියට එන ඔහු දැක යලි බියපත් උනා…

දැන් ඔහු ඇවිත් තමුන්ට කතා කරයි …..එය අසල්වාසින් දකිවි..පොලීසියට ඔත්තුව යාවී..
නිරපරාදේ තමුන් හොරුන්ට මිනීමරුවන්ට උදව් කරන්නෙක් වේවී ආදි කරදර සිතුවිලි නිසා..තාත්තා වහා පාරට පිටුපා බංකුවේ වාඩිවී…පත්තරේ බලන්න ගත්තෙ හරියට මේ සිද්ධිය දැක්කෙ නැතුවා වාගේ…ලු

පොඩිවිජේ…කිසි අමුත්තක් නැතිව තාත්තා පිටුපසින් ගමන් කලේලු..හැබැයි..මේ කාරුනික වැඩිහිටියාට..ස්තුති කරමින්..

” මාමා බයවෙන්ඩ එපා…මං යනව…මාමාට ගොඩක් ස්තුතියි මාමේ……….”

පපුව ගැහි ගැහි හිටි….තාත්තා..හැරිල බලද්දි…පොඩ්විජේ…ප්‍රධාන මාවතෙන්.. ඉවත්ව..වම් අත පැත්තේ පිහිටි කුඹුරු යායට ගොඩවීත් අවසන්ලු…

හැන්දෑකොරේ… අඹ සෙවන ට වී…ලොකු ලොකු සිද්ධි රසවත් ලෙස ඔප දමමින් කතා කරන අපේ සේවාමුක්ත භටයාට..මේ සිද්ධිය සගයන් හා කියාගන්න බැරි වී…කොයි තරම් නම් අප්සට් යන්න ඇත්ද…?

පොඩිවිජේ ඒ ප්‍රධාන පාර හරහා පැන ගිය ගමනත්..හොද එකක් උනේ නෑ…පසුදින උදේ තමයි ආරංචි උනේ…මඩකලපුව සිට කොලඹ බලා යන රාත්‍රී 12.00 දුම්රිය…අවිගත් කන්ඩායමක් විසින් මංකොල්ල කා තිබුනා….

පොඩිවිජේ ඊලග වික්‍රමය..අපට ආරංචි උනේ
තවත්..දවස් දෙකකට පස්සෙ…පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරී වරයාගේ නිල නිවස පිහිටියේ පොලොන්නරුව නව නගරයේ… පැරකුම් සමුදුර පෙනෙන ඉසව්වෙ…යි.

පොලිස් අධිකාරී ටෙරන්ස් පෙරේරා…ගෙමිදුලෙයි හිටියෙ…ඉතා නුදුරේ සිට ඉගිල ආ වෙඩි උන්ඩය..පොලිස් අධිකාරීගේ කන අසලින් පියාඹා ගියා…ඔහු වහා ආරක්ෂිත රැකවරණයක් ලැබුවා පරිසරය කලඹමින් දෙවන වෙඩි උන්ඩයද වේගයෙන් පොලිස් නිල නිවස්නය වෙත ආවා….වෙඩි හඩින් කලබල වූ පොලිස් අධිකාරිගෙ රැකවලුන්ද වෙඩි හඩ ආ දෙසට වෙඩි තැබුවා…

පොලිස් අධිකාරී දණ්ඩෙන් පහර ලත් සර්පයෙක් වගේ කෝප උනා…..ඔහු ඉවක් බවක් නැතිව..ව පෙරලා වෙඩි තැබුව…
———————————————————————————————————————————————

දහවන කොටස
14642428_1150915161651964_7375292475387165181_n

එය බිහිසුනු යුගයක් විය,…පොඩිවිජේ හා එක්වන්නට තවත්..අපේක්ෂා භංගත්වයට පත් තරුනයෝ පිරිසක් මේ ගොවි ජනපදයේ රැකියා විරහිත බවෙන්,සමාජයේ නිසි ඇගයීමක් නොවීමෙන්, පාසැල් අධ්‍යාපන කාලයේ ගුරුවරුන්ගේ නොමද අකරුණාවට පාත්‍ර වීමෙන්, යම්කිසි කුල පරම්පරාවකට අයිති වීමෙන් ආදී මෙකී නොකී කාරණා එකක් හෝ සමූහයක් නිසා සිටියා….

පොඩිවිජේ ගිරිතලේ කටුකැලියාව කියන වනාන්තරයේ අපරාධ විශ්ව විද්‍යාලයේ මුල් ගුරුතුමා ද වුනා…

පැවතියේ..ජේ ආර් පාලන සමයයි…

ඔබ මතක තබා ගත යුතු විශේස කරුනක්ද වනවා…පීඩිත පන්තියේ තරුනයින් කිහිප දෙනෙකු..පොඩිවිජේ හා එක්වී අපරාධ කරන්නට පෙළ ගැසුනද..පීඩිත පන්තියේ ද නොවන ගොවි කුලයේද නොවන ඇතැම් තරුන යන් පිරිසක් පොඩිවිජේ හා ලොවට හොරා ගනුදෙනු කල බව.

ඔවුන් හරහා පොඩිවිජේටත් ඔහුගේ සහචරයන්ටත් අත්‍යාවශ්‍ය බොහෝ දෑ ඔහුගේ කැලෑ රාජ්‍යයට පහසුවෙන් ලගා උනා.
පොඩි විජේ ගේ දියනිය යාන්තම් දණබඩගාන වියේ ඔහුට එක්තරා රහසිගත ඉසව්වකදී තම බිරිය යසවතී මුනගැහුනා..ඒ කාලය වන විට යසවතී ජීවත් උනේඇගේ දෙමාපියන්ට අයත් නිවසේයි.

” ඔය අපරාධ..නවත්තලා..පොලීසියට බාරවෙන්න…අවුරුදු දහයක් දොලහක් හිරේ හිටියත් මං දරුවත් එක්ක ඔයා එනකං බලා ඉන්නං….”

මාස ගණනාවකින් හමුවුනු පොඩිවිජේ දැක්ක හැටියේ කියවන්න ගත්ත…ඈඇඩුව…

” යසවතියෙ..උඹනාඩ හිටපං මගෙ කෙල්ලට හොදට උගන්නපං… අපිට ඉගෙන ගන්ඩ බැරිඋනා..ඒකයි….මෙහෙම උනේ…. හදිසියේ මාව පොලීසියෙන් අල්ලාගත්තොත්….නඩුහබ වලට යන වියදං කරන්ඩ වුවමනා සල්ලි මම …………………ට දීලයි තියෙන්නෙ…ඒ වගේම

හදිසියේ පොලීසියෙන් වෙඩි කාලා මං මැරුනොත්…ඔයා මගෙ දරුවයි මගෙ අම්ම තාත්තයි ගැන බලන්ඩ ඕන………. මං පොලීසියෙන් වෙඩි කන්ඩ නං ඉන්නෙ නෑ..”

පොලීසිය විවිධ උපක්‍රම අටවමින් පොඩිවිජේ අල්ලා ගන්නා හැටියක් සොයමින් සිටි මේ වකවානුවේ…තවත් අපූරු කතාවක් ගොවි ජනපදය හරහා ඉගිල්ලිනි.

ගිරිතලේ,කටුකැලියාව,සුදු කන්ද…
මේ වන අරණේ තම රාජ්‍ය ස්තාපිත කරගත් පොඩිවිජේට ඇවසි ආහාර පාන ආදරය කරුනාව ලබා දෙන්නට විශේස කාන්තාවක් සැදී පැහැදී සිටිනා බවට තොරතුරු පොඩිවිජේ මිනීමැරුවා කියන ආරංචියට ත් වඩා වේගයෙන් පැතිරුනා.

ඔබව යලිත මගේ ළමා වියට ගෙනයාමට සිදු වෙනවා…

මතක හැටියට……ඒ මම සාමාන්‍ය පෙල ලියන්නට පලමුවයි….අපට හිටිය අපූරු ඉංග්‍රීසී ගුරුතුමියක් …..ඈ ඇන්දේ උඩරට කුමාරිහාමි කෙනෙක් විදියට ඔසරියයි…ගෙල මුලට වන්නට කොන්ඩ ගෙඩියක් බැන්දා…තරමක් අඩි උස සෙරෙප්පුව..අමුතු තාලයකට් හඩවමින් කොරිඩෝව දිගේ ඈ යද්දී අමුතු සුන්දරත්වයක් තිබුනා…තරමක් ගොරෝසු කටහඩක් ඈට තිබුනේ…ඒ වගේම ඒ හඩ අණ දෙන සුලුයි…
අපේ පන්තියේ හිටපු යකඩ කොල්ලොනම් කිව්වෙ…මැඩම්ගෙ මහත්තයා ආමි එකේ හින්ද…මැඩම් අපිට ආමි පාට් දානවා කියලයි…
ඈට බොහොම රුවැති දියනියක් හිටියා…ඔය කාලෙ ඒ දැරිවි හිටියෙ 8 පන්තියෙද කොහෙදො…

පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ එවකට තද නීති රීති සමූහයකින් දරුවන්ගෙ විනය රකින්නට කටයුතු සංවිධානය කරල තිබුන.
ප්‍රේම සම්බන්ධයක් ගැන සැලවී ඔප්පු කරන්නට අවශ්‍ය ප්‍රතිපාදන සැලසුනොත් පාලන අධිකාරිය විසින් කිසි කතාවක් නැහැ ජෝඩුවම පාසැලෙන් අස් කරනව….( ඒකනෙ අපි පාසැල් ප්‍රේමයක් පටන් ගත්තෙ නැත්තෙ.)

අපේ ඉංග්‍රීසි ගුරුතුමීගෙ දුවයි අපේ පන්තියක පිරිමි ලමයෙකුයි අතර පෙම් පලහිලව්වක් විනය භාර ගුරුතුමීට අහුවුනේ…පෙම් හසුනුත් සමගමයි…
සෙනෙහෙ කොල ටික කෙල්ල ලියාපුවා… විදුහල්පති තුමා…ප්‍රසිද්ධ වේදිකාවක..කොල්ලාට දඩුවම් විදියට වේවැල් කසාය පාර දුන්නා…
ඒ විතරක් නෙමේ කොල්ලාගෙ දෙමවුපියෝ ගෙනැල්ලා අස්වීමේ සහතිකේ ඔවුන්ගෙ අතට දීලා කොල්ලව පාසැලෙන් නෙරපනු ලැබුවා…

කෙල්ලට මක් වෙන්ඩ ඇති කියලද හිතන්නෙ..?
නීතිය වෙනස් වුනා..අපේ සමහර ආණ්ඩු වගේ..කෙල්ලට කිසි දඩුවමක් නෑ…අත් අකුරු සහිත හොර බඩු අහුවෙලාත්……ඈ නිරුපද්‍රිතයි…
ඒ කාලේ උසස් පෙල ලමයි පාලන අධිකාරියට විරුද්ධව..පංති වර්ජනයකුත් කරාද කොහෙදො.

පොඩිවිජේ ගෙ කතාවයි..ඒ කතාවයි හරියට පොල් සම්බෝලයි, ….ෆීසයි වගේ නේද…ඒත් ඉතින් පෙරපර හොදින් ගලපා ලියන්න එපැයි.

පොඩිවිජේට ආහාර පානවලින් දයාවෙන් සලකන්නට…මේ මහ වන මැද උන් දයාවන්තිය මේ පෙර කී ගුරු තුමියයි.

අපේ ජීවිත…හසුරුවන්නෙ..අප විසින්නොවෙයි…එහි පාලනය වෙනත් අයෙකු අතේ තිබෙනවා කියලයි මම විශ්වාස කරන්නෙ…ඒකයි අද රජ හෙට මහ පාරේ කියල කියන්නෙ…අර තරම්..මහේශාක්‍ය විදියට හිටි..එතුමිය..මහ කැලෑවක් අද්දර පල් හොරෙක් මෙන්ම මිනීමරුවෙක් වුනු……පොලිස් .. වෙඩි පහරක් නලලේ ලියා ගත්තු මිනිහෙක් තමුන්ගෙ හිතවතා විදියට….තියාගන්නා තරමට…ඇගේ ජීවිතයේ මොනතරම් හැල හැප්පිලි සිදුවන්නට ඇත්ද….

පොඩිවිජේ සොයා පොලිස් වෙඩි උන්ඩ ඒ මේ අත පියාඹන කාලේ මට දවසක් එතුමිය දැක ගන්න ලැබුනෙ ජයන්තිපුර ලංකා බැංකුව තුලදියි..ඈ කවුන්ටරයෙන් මුදල් ගත්තා..ඒ වෙනකොට අර කතාව එලියට ඇවිල්ලයි තිබුනෙ…මම ඈ දිහා බලා හිටියා…එදා වගේම රූප ස්වභාවයයි..එඩිතර පෙනුමයි එහෙමම තිබුනා.
මට හිතුනා එතුමියට කතා කල යුතු යැයි…ක්ෂණිකව ගත්තු තීරනයක් මත මම ඈ ලගට ගියා…
” මැඩම්..මම ඔබතුමීගෙන් ඉගෙන ගත්තා..” යි කීවා…අත් බෑගයට මොනාවදෝ දමමින් හිටි ඈ හිස ඔසවා මදෙස බැලුවා…අහංකාර බැල්ම ගිලී ගොස් ඇගේ මුවේ මන්ද්ස්මිතියක් ඇදී ගියා..

” ආ…ඇත්තදා කොහෙද රෝයල් එකේද ? ”
මම මා සේවය කරන ආයතනය ගැන කීවා..ඈට මහා හදිසියක් තිබුනා…” ගිහින් එන්නං..”
ඈයන්න ගියා….ඔබ දන්නවාද මට ඈ දැන් මුනගැසෙන්නට තිබෙනවානම් අපූරු පොතක් ලියනවා… ඇතැම් කාන්තා චරිත මගේ හදවතේ සදා නොවෙනස්ව ලැගුම්ගෙන සිටින ජීවී වස්තූන්…පෙර කී ගුරුතුමියටද මගේ හදවතේ ඇත්තේ එවන් ස්ථානයකි.

මේ මහරු මාගම…. !!
පොඩිවිජේගේ..අවසානය කාන්තාවක නිසා සිදුවන බව සමහර විට ඔහුගේ වේලාපත්කඩේ තියෙන්නටත් ඇති.
——————————————————————————————————————————–

එකලොස්වැනි කොටස
14650539_1147613588648788_6740471688719825375_n

70 – 90 කාලෙ පොලොන්නරුවෙ පොලිස් ස්ථානය පිහිටලා තිබුනෙ…පොලොන්නරුව පැරැනි පූජා නගරය මැදමයි.
දැන් එතැන පොලීසියක් තිබුනු ලකුනක් වත් නෑ….

අතීත කතා කියද්දි පොලොන්නරුවෙ පොලිස් ස්ථානයට හිමි වෙන්නෙ අද්විතීය තැනක් අතීත ස්මරන කෝටියයි…

පොඩිවිජේ ගෙ කතාව කියද්දි පොලොන්නරුව පොලීසිය ගැන නොලියා හිටියොත්..ඒක හරියට පරිප්පු නැති හෝටලයකට ගියා වගේ තියේවී.

71 කැරැල්ලෙදි…පොලොන්නරුව පොලීසියට ඔත්තුවක් ලැබුන අප්‍රේල 5 දා කැරැලිකරුවන් තමුන්ගෙ පොලිස් ස්ථානයට පහර දීමට සූදානමක් තිබෙන බවට…පොලීසිය සන්නද්ධව සූදානම් උනා…
පොලිස් ස්ථානයේ ඉදිරිපිට යෝධ බෝ ගසක් තිබුනා අතු පතර විහිදීගිය..එතුල එක්කෙනෙකුට නෙමේ සීයකට වුනත් ගහේ අතු අස්සෙ ඉන්න පුලුවන් කම තිබුනා..

පොලීසිය හැංගිලා හිටියෙ මේ අතුපතර යි..
හරියටම සැලසුම් කරගත් පරිදි කැරැලි කාරයෝ..පොලීසියට ඉදිරිපසින් හා පොලීසියට දකුනු පසින් තිබුනු ප්‍රධාන මාවත ඔස්සේ බස් රත වලින් ද, පැහැරගත් පුද්ගලික රථවාහන වලින්ද පැමිනියේ නිකම් නොවෙයි..ඒ අයත් ආයුධ සන්නද්දවයි… මුලින්ම පොලිස් ස්ථානයට ඇතුලු උනේ බස් රියයි.. එතුල කැරැලි කාරයෝ පමනක් නොවෙයි කැරැලි කාරයන්ගෙනුත් සමන්විත උනා..
එහෙත් ඔවුන්ට තම අතේ තිබුනු ගිනි අවි අල්ලන්නවත් ලැබුනෙ නෑ…පොලීසිය විසින් එල්ල කල මැෂින්ගන් ප්‍රාහරයෙන් බස් රථය හිල් කූඩයක් උනා…

එහි පැමිනි සියලුම දෙනා මියගියා…භද්‍ර යෞවනයේ පිරිමි ළමයි විතරක් නෙවි ගැහැණු ළමුන්ද ඒ බස් රථය තුල සී සී කඩ විසිරී මියගොස් තිබුනා…අතරමග එමින් සිටි බොහෝ පිරිසක් පලා යද්දී පොලිස් අත් අඩ්ංගුවට පත් වුනා…. 71 කැරැල්ලේ පොලොන්නරුවේ ද මහා ලොකු කතාවක් තියෙනවා…එවකට මට වයස අවුරුදු 10 විතර ඇති….මේ කතාව පසුවට තියා ගනිමු…වරදවා නොසිතන්න…පොඩිවිජේ ගෙ කතාව ලියාගෙන යද්දි ඇතැම් මතකයන් යලි අවදි වෙද්දි වැල් ගනන් අතීතකතා සිහිපත් වෙනව…

මේ පොලොන්නරුව පොලීසියට කැරැලි කණ්ඩායම් විසින් පහර දෙද්දි එවකට එම පොලීසියේම සේවය කල නිලධාරියෙක් තමා පොඩිවිජේගේ භීෂණ සමයේ පොලොන්නරුව පොලීසියෙ ස්ථාන භාර නිලධාරි ලෙස හිටියෙ.. ඔහු මැලේ ජාතිකයෙක්… ජොහොරන්…කියන නම විතරයි මට මතක ..පොලිස් සේවයෙන් විශ්‍රාම යනතුරුත් ඔහුත් දරු පවුලත් ජීවත් වුනේ පොලිස් නිල නිවාස වලමයි….පසු කලෙක විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු මියයන තුරුම පොලොන්නරුවෙමයි හිටියෙ…

කැරැල්ල සමයේ දී අත් අඩ්ංගුවට ගනු ලැබූ පොලොන්නරුව කැරැලි නායකයා… පොලිස් අත් අඩංගුවට පත් වීමෙන් අනතුරුව…අධිකරණයෙන් ලද දඩුවම අවසන් වීමෙන් පසු ඔහුව වෙනත් සාවද්‍ය චෝදනාවක් කොට හෙතෙම අත් අඩ්ංගුවට ගත් ජොහරන් මහතා ඔහුව නිදහස් කිරීමට නම් රුපියල් 5000 ක ( එකල ) අල්ලසක් ඉල්ලා සිටි බවට කැරැලි නායකයා විසින් අධිකරනය හමුවේප්‍රකාශ කොට තිබුනා….

ඒ පූර්වාදර්ශයෙන් නොනැවතුනු…හෙතෙම පොඩිවිජේ ගෙන්ද අල්ලස් ලබා ගෙන තිබුනේලු…දිගින් දිගටම පොඩි විජේ අත් අඩ්ංගුවට ගැනීම පොලීසිය විසින් කල් තැබීම පිලිබදව…ගම තුල සිටි දේශපාලන ප්‍රාදේශීය නයකයින් විටින් විට පොලීසියට අනතුරු ඇගවීම් කොට තිබුනා…

එසේ පොලීසිය පිලිබදව සැක කිරීමට මහජනතාව පෙලඹුනේ …ජයන්තිපුර තුල .පොඩිවිජේ ගේ නිදහස් හැසිරීමයි…

මේ තත්වයන් තුල පොලීසිය මේ චෝදනාවෙන් ගලවාගැනීම පිනිස පොලිස් අධිකාරි වරයා නවතම ඉසව් ඔස්සේ පොඩිවිජේ ජීවග්‍රහයෙන් හෝ මරා දමා හෝ සාමය ආරක්ෂාකිරීමට වග බලාගත්තා…ඒ අනුව ඔහු පොලොන්නරුව පොලිස් ස්තානාධිපති වරයාටත් හොර රහසේ තම පෞද්ගලික චරපුරුෂයෝ මම මුලින් කී පොඩිවිජේගේ පෙම්වතියගේ නිවස වටාද යොදවා තිබුනා….

පොඩිවිජේ ට ගණදෙවි නුවන තිබුනා ඔහු පෙම්වතිය බැලීමට යන ගමන සීමා කලා…
ඒ වෙනුවට පොඩිවිජේට අවශ්‍ය සියලු දෑ ඔහු ට ලබාදීමට අපගේ අලුත් කතා නායිකාව..ඔවුන්ට වඩා විශ්වාසී අයෙකු තෝරාගෙන තිබුනා….

ඔහු හැදින්වූයේ උනම්බුවා නමින්….මේ මෑතක් වනතුරු ඔහු..මින්නේරිය නගරයේ සැරි සරනු දුටුවත් වසර දෙකකින් පමන මම ඔහු දැක්කේ නැහැ….

ඔබට මතකනෙ..පොඩිවිජේට සහය පලකල මගේ අතීත ඉංග්‍රීසී ගුරුතුමී මට දිනක් හමුවුනා යැයි කියූ ජයන්තිපුර ලංකා බැංකුව….

මහ දවාලේ…ජනාකීරණ වෙලාවක ආයුධ සන්නද්ද කොල්ල කල්ලියක් විසින් බැංකුව කොල්ල කෑවා……

මේ භීම සමයේ සිදුවූ සෑම අටමගලයක්ම…පොඩිවිජේ විසින් සිදු කල බවට පොලිස් පොත සාක්කි සදහන් කලා….

දවසින් දවස තොරතුරු වරුසාවක්…අපේ මහ ගෙදර ඉදිරි පස පිහිටි අඹගහමුල ගලාගියා…අවාසනාවට මට මේ දිනවල අඹගහ මුල සංගමයේ බොහෝ කතන්දර අහුලාගන්න බැරිඋනා….

මගේ නිවුන් දියනියන් දෙදෙනා…මගේ දවසේ පැය 24 ම ඔවුන් වෙනුවෙන් ම රන්දා ගත්තා……අතීතයේ තතු දන්නා අයට මතක ඇති ඒ කාලේ ළදරුවන් කිරි දීම සදහා තිබුනා කුඩා තොටිලි හැඩයක් තියෙන බෝතල් විශේසය..එහි දෙකොනේ කුඩා සහ ලොකු සූප්පු වශයෙන් දෙකක් තිබුනා…
මගේ සුන්දර දැරිවියෝ දෙන්නා ඇදේ තියල දෙන්නා අතර මැදි තිබෙන කොට්ටයක කිරි බෝතල් දෙක දෙපසින් තබා ඔවුන් එය බොනතුරු මදක් ඉවතට ගිය ඇසිල්ලේ….පොඩිවිජේ කලාට වඩා දරුනු හොරකමක් ඒ දෙන්න අතරෙ සිද්ද වෙලා…
එක බෝතලයක් හිස් ඒකට පයින් පාරක් දුන්නු ලොකු එකා මං එද්දී පොඩි එකීගෙ බෝතලය අරගෙන අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි තරයේ අල්ලාගෙන බොනව….පොඩි එකා විලාප තියනව… සිද්ද වෙච්ච දේ මට තෝරා ගන්න බැරිව..බලා ඉන්නව…කවුද දන්නෙ….ඔය වයසට…හොර වැඩ කරයි කියල…ඒ වගේ යුද්ධයක් ගේ ඇතුලෙ තිියාගෙන අනේ මං කොහොමද…අපේ රණශූර සේවාමුක්ත භටයගෙ….අඹගහ මුල රැස්වීම වාර්තා කරන්නෙ….

එහෙම වුනා කියල මම ඔබේ රස වින්දනයට කිසිම බාධාවක් කරන්නෙ නැ…හෙට උනම්බුවාද සමගින් ඔබ හමුවට එනව….
————————————————————————————————————————————–

දොලොස්වන කොටස
14606315_1145864452157035_521415694133977457_n

මම පොරොන්දු වුනා පොඩිවිජේගෙ අලුත් සහකරුවා වන උනම්බුවා සමග ඔබ හමුවන බවට….. මේ පුවත සජීවිකරණය කල යුතු යැයි සිතා මම ගියා උනම්බුවා සොයාගෙන… ගලෙන් පට්ටයක් ගතෑකි…එහෙත් ඔහුගෙන් වචනයක් ගන්න අමාරුයි…
ඔහුගෙ නම හීන්බණ්ඩා…දැන් බොහෝ වයෝවුර්ධයි..එහෙත් ඔහුගේ ගිලී ගිය ඇස් කෙවෙනි තුල තාමත් දාමරිකයෙකු ජීවත් වෙනවා….මීට වසර 10 ට පෙර මම ඔහුව දුටුවෙ මින්නේරිය නගරයේ පෞද්ගලික බස් රථ හසුරුවන්නෙක් ( රනර්..කෙනෙක්) විදියට. තව දවසක බඩු ප්‍රවාහන ලොරියක රිය සහායක විදියට..එතකොටත් මිනිහට වයස අවුරුදු 60 – 70 ක් විතර ඇති..සුදු පැහැයත් බොර පැහැයත් මිශ්‍ර වුනු පපුව තෙක් වැවුනු ගණ රැවුලේ මුව වටා බුලත් කසට බැදීමෙන් රත් පැහැය ගෙන තිබුනා. හිස මුදුන තට්ටය තිබුනත් ගෙල පෙදෙසින් පමනක් වැවුනු හිසකෙස් ගෙලෙන් පහලට වැටුනේ හරියට පූසාරියෙකුගෙ වගේ..

කමිසයේ ඉදිරිපස බොත්තම් විවර කොට අන්තිම බොත්තමෙන් විතරක් කමිසය ඇගේ දැවටුනා..සරම ඇදලා හිටියේ 70 දශකය මතක තියෙන අයට අලුතෙන් හදුන්වලා දෙන්න වුවමනා නෑ..ඒ ක්‍රමයට අපේ අම්මා කීවේ රස්තියාදු කාරයො අදින විදිහ කියල..
ඔන්න ඔය වෙලාවට අපෙ තාත්තා දකුනෙ උපන්නෙක්..නිසාද මන්ද..නිකං බොරු ගෝෂාවක් අපෙ අම්මට දානවා…
” අනේ මේ යනව යන්න..ඔහෙලා වලව්කාරයෝ නේ..මේ මිනිස්සු න්ට හෙලා තලා කතා කරනව ”

ඔය ජෝඩුව හැමදාම උඩරට පහතරට භේදය හින්දා තරහ වෙනව…..තාත්ත අම්මගෙ නම උච්චාරනය කරන්නෙත්..සවුත්තුවට..හෙ..හෙ..මහ ලොකු අබේකෝන් වාසල මුදලිගේ කුමාරිහාමී…. අපේ රට සුද්දනට පාවලා දුන්නෙ ඔය වලව්කාරයො ටික තමා ”

මට පොඩිඑකා කාලෙත් හිතුන..තාත්තා මේ කෑගහන්නෙ..උඩරට ගිවිසුමේ ..මොනවහරි දේකට අපේ අම්මලා සම්බන්ධ ඇති කියල.

මදැයි..උනම්බුවා ගේ කතාව හැරුනු පැත්ත. ඔය කතාවේ රසවත්ම සිද්දිය… තාත්තා හවසක අඹගහ යට සංගමේ රැස්වෙලා හිටිය වෙලාවක ඇදුනෙ නැතෑ උනම්බුවා ගැන…බැලින්නං උනම්බුවාගෙ පෙලපත..උඩරට වංශක්කාර රදළ පරම්පරාවක දියවීගිය අවසන් පුරුක ඔහු…කුඩා කාලෙදිම..අගනුවර..පාතාලෙක ඇදගෙන වැටුනු ඔහු පසු කලෙක මුට්ට කරගසන්නෙකු ලෙස ට පරිවර්තනය වීමෙන් අනතුරුවයි…උනම්බුවා වෙන්නෙ…. 1956 දී ඩී එස් සේනානායකයන් විසින් නිර්මානය කල මින්නෙරිය හිගුරක්ගොඩ ගොවි ජනපදයට පැමිනි බහුතරයක්..ගම්වලට හිසේරදයක් වෙලා හිටපු තරුනයෝ කියල තමා ඒ කාලෙ කතාඋනේ…හැබෑවටම ඒ උදවිය යකඩයෝ වෙන්නැති නැත්නම්..රජකාලෙන් පස්සෙ මිනිස් පා පහසක් නොලද ඒ මහා වනාන්තර එලි පෙහෙලි කර..වගා දිගා කරල රටටම බත සපයන්න දායක වෙන්න ඔවුන්ට යෝධබල ශක්තිය ලැබෙන්න ඇත්තෙ ඔවුන් යකුන් සදිසිව දරාගැනීමේ හැකියාව තිබූ අය නිසා විය හැකියි…
කොහොම උනත්..හීන්බණ්ඩා නොහොත් උනම්බුවාගේ රජරට සම්ප්‍රාප්තිය සිදුවී ඇත්තේ එලෙසයි..
අද වනවිට ඔහු බොහොම අයසට වැටුනු මිනිහෙක්…තමන්ටය කියල තිබුනු ගේ දොර නඩුවක් නිසා ඔහුට අහිමි වෙලා දරුවන් ඔහු අතැර ගිහින්..අනුන්ගේ තැනක වැටිල ඉන්නව..සමහර විට මේ ආත්ම බවේ කල පව් ගෙවනව වෙන්නත් පුලුවන්….

මට ඔහු ට කතා කරන්න බැරිඋනා…ඒත් ඔහු මට මුනගැස්වූ මගේ හිතවතා ( මින්නේරිය දේවාලයේ බස්නායක තැන) පොරොන්දුවුනා ඊ ලග දවසේ ඔහු හා දොඩමලු වන්නට අවස්තාව අරන් දෙන බවට..ඒත් ඉතින් එතෙක් මගේ ප්‍ර්‍රේක්ශකයෝ ඉවසාවිද…?

පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරී ටෙරන්ස් පෙරේරා…ඔහු අම්බලන්ගොඩ උපන්නෙක්…… මේ ටීකාව කියවන අම්බලන්ගොඩයෝ මට සමාව දෙත්වා… ..නාහෙට අහන්නෙ නැති හරි ඉක්මනට කෝප ගන්න..ඒ වගේම තමුන් හරි හෝ වැරැදි හෝ පරදින්න කැමති නැති …ඔන්න ඔය වගේ බොහෝ ඉක්මන් කෝප කාරයෝ ටිකක් තමයි අම්බලන්ගොඩයෝ….

එහෙවු ගමක උපන් පොලිස් අධිකාරි වරයා…පොඩිවිජේ සමග නම් උන්නේ මහා කෝපයකින්..අතට අහුවුනානම් මෑකරල් කඩනවා වගේ අත පය කඩල දාවී..
මොන නින්දාවක්ද..මේ ගොවි ජනපදයක..ඇඹිටිලි කොල්ලෙක් තමුන්ගේ කණ ලගටම ඇවිත් වෙඩි තියල ගියා…ඒ මදිවට..එක සතියක් තුල මහා පරිමානේ මංකොල්ලකෑම් 5 යි…එක දවසක් තුල මිනීමැරුම් 3 යි..එක පැය ක් තුල පුරවැසියන්ට අඩම්තේට්ටම් කිරීම් පහරදීම් 4 ක් පොලිස් අධිකාරිවරයාට තමුන්ගෙ නිල ඇදුමේ රිදී පැහැයෙන් දිදුලන ඔටුන්නේ ගෞරවය රැකගැනීමේ සටනක නියැලෙමින් සිටියා… පොඩිවිජේට එරෙහිව ඔහුගේ සටන ගෙනියන්න සිද්ධ වෙලා තියෙන්නෙ ඇතුලෙ ඉන්න පොඩිවිජේ ට සහය දක්වන පොලිස් නිලධාරීනටත් හොර රහසෙයි…

එකල පොලිස් අධිකාරිවරයාට පොඩිවිජේ පිලිබදව ඔත්තු සැපයූවෙකු පසු කලෙක පොලිස් සේවයටඑකතු උනා….. රටපුරා එල් ටී ටී ඊ වසංගතය ව්‍යාප්ත වූ කාලයේ හැමතැනම මාර්ග බාධක ඉදිවී තිබුනු යුගයක දවසක්..මේ චරපුරුෂයාව මං දුටුවෙ හබරණ පොලිස් මාර්ග බාධකයක් ලගදි..ටී 56 කරගහ ගත්තු හෙතෙම පොලිස් නිල ඇදුමෙන් ඇවිත් අපේ වාහනය ඇතුලත බැලුවා දැක පුරුදු මුහුනක් බව මතක තිබුනත්…මට පොඩ්ඩක් වත් හිතුනෙ නෑ ඒ පොඩිවිජේ අල්ලාගන්න පොලිසියට උදවු කල හොරා පොලිස් කියල…මිනිහ වාහනේට එබිල බලල බුලත් විටෙන් රතු වුනු මූව කණ ලගට පලල් කරල හිනාඋනා..

” මිස්ට අපිව මතක නෑ වගේ…ඒ කාලේ පොඩිවිජේ එක්ක ඔට්ටු සෙල්ලං කොලේ…ඒ කාලේ හොරා පොලිස් දැන් ඇත්තටම පොලිස්…”

මා සමග වාහනයේ සිටි මාධ්‍ය සගයන්ට මහ හයියෙන් හිනා ගියා…වෙන මොනවත් නිසා නොවෙයි… ඒ…පොලිස් රාළහාමි ඒ වෙලාවෙ හැසිරුනේ හරියට ප්‍රෙඩී සිල්වා වගේ නිසා…

මේ චරපුරුෂයා හිටියෙ පොඩිවිජේගෙ මංකොල්ල ගැන්සිය එක්ක ……මම දන්නෙ නෑ මේ හාදයා මුලින් කොල්ල කල්ලියෙ ඉදල පස්සෙ පොඩි විජේ පාව දුන්නද නැත්නම්..පොඩිවිජේ අල්ලා ගන්නම හිතාගෙන කොල්ල කල්ලියට එකතු වුනාද කියල….මට මතක හැටියට ඔහු ගෙ නම සුනිල්…..

මේ යුගයෙ පොලොන්නරුවෙ ….ඉදන් පුවත් පත් වලට ලියූ ඇතැම්මු මහා පතාකයෝ කරන්නට පොඩිවිජේටහැකි උනා…….ඒ වගේම බල්ලත් නොමරා පොල්ලත් නොකඩා වැඩ කල ඇතැම් සුලු පරිමාන ( එකල ) ව්‍යාපාරිකයන් ලග පොඩිවිජේ විසින් තැන්පත් කල මුදල් ..????
එසේ ඔහු ලගම සිටි කිසිවෙකුත් වර්තමානයේදී තමන් පොඩිවිජේ ඇසුරු කල බව තබා ඒ ගැන කතා කරන්නටවත් කැමති නැහැ..

ඒ වෙනුවට ඔවුහු…මහා පරිමානයේ දානපතියෝ..මහා පරිමානයේ..සමාජ ශෝධකයෝ…..කොතැනද වරද…
කවුරුවත් කතා කරන්නේ නෑ..පොඩිවිජේ…අපරාධකාරයෙක් රාජද්‍රෝහියෙක් විදියට ඉතිහාසයට යනව..ඔහු කොල්ලකෑ මුදල් පරිහරනයට ගත් උදවිය කෝටිපතියෝ වෙනවා…..තමුන් මහා සිල්වතුන් බව ඔවුන් විසින්ම ලෝකයට කියනවා..එසේ නැතහොත් එදා පොඩිවිජේ ගැන ලියා රිපෝටර් ලා උනු උදවියම මේ දානපතියන්ගෙන් ලැබෙන ත්‍යාග වලින් සංතර්පනය වන ඔවුන්ම මාධ්‍යයට කියනවා..මේ තමා සුපිරි දානපතියන් ය කියා…

කොහොමටත්..මේ බොරුව රජවන කාලයනේ..
යුක්තිය සාධාරණය සොයන්නට ගොසින් දරුණු අපරාධකරුවෙක් වුනු පොඩි විජේ ගේ අවසන් දින කිහිපයයි මේ ගෙවෙන්නෙ…
ඉංග්‍රීසි ගුරුතුමී තම පරාජිත ජීවිතයේ අදුරු සෙවනැලි වලින් මිදෙන්නට සිතා වස වෙනුවට විශ වැලදගෙන තිබුනා…ඒ නිසාම රැයක් දාවලක් නැතිව ඇවිදින පොඩිවිජේ වෙනුවෙන් ඕ තොමෝ රසමසවුලු තනා උනම්බුවා අත පිටත් කලා..
පොලිස් හමුදාව ගිරිතලේ කටුකැලියාව සුදු කන්ද පීරුවා……

ජයන්තිපුර නගරය උදේ සවස ගීතවත් කල ගේ කුරුලු හමුදාව විදුලි රැහැන් පහේම එක වැලට වහල කූජනය කලේ මේ පවත් කිසිවක්ම නොදැනමයි…….
සුපුරුදු විදියටම සුදු කන්ද දිහාවෙන් ඉර ගිනි බෝලයක් වගේ බැහල ගියා…තඹලවැවේ..දියකාවුන් රෑන් පිටින් වැවමැද්දෙ ඉතිරි වෙලා තියෙන දිරාපත් රුක් මුදුන් වල දැවටී මසුන් දඩයම් කලා…
බොහෝ මහත්තුරු න්ගෙන් ගහන ජයන්තිපුර හංදියේ…. පරසිදු අඹගහයට මහත්තුරුද බාසුන්නැහේ ලාද,අයියලාද මචං ලාද තව තවත් කතන්දර ගොතමින් හිටියා…
____________________________________________________________________________________________________

දහතුන්වන කොටස-
14608175_820856738048787_1116561073_n

දවස් හෙමින් හෙමින් අතීතයට එකතු වෙමින් තිබුනා….මට ඉකුත් කොටසක ඔබට කියන්නට අතපසු වූ යමක් තිබුනා…එය සටහන් කිරීම ගිලිහෙන්නට හේතුව..මම ඔබට කලිනුත් කියා ඇති….. මගේ මතක ගබඩාවේ..යම් යම් දුර්වල තැන් තිබුනා…අවට ලෝකය මට අමතක වූ ස්ථාන…එකක් මගේ විවාහය දෙවැන්න මගේ නිවුන් දියනියන් දෙදෙනාගේ සම්ප්‍රාප්තිය අනෙක මට රැකියාවක් ලැබීම ඔය කරුනු තුනේදීම මම මදකට අවට ලෝකය අමතක කලා…….මගේ ආදරණීය ප්‍රේක්ෂකයා …එය ඉවසනු ඇති.

පොඩිවිජේ ත්‍රිත්ව ඝාතනය කල දිනට පසු දින කිසියම් පිරිසක ඔහුගේ දෙමාපියන්ට අයත් නිවසට ගිනි තැබුවා. .. පොඩි විජේ ගේ මරණයෙන් පසුත් ඒ ඉඩමපාලුවට ගොසින් තිබුනා…රූස්ස අඹ කොස් ආදියෙහි ඵ ල නෙලා ගත්තේ පිටස්තරයෝ…පොඩිවිජේ ගේ පවුලේ කිසිවෙකුත් ආපසු ගමට ආවේ නැහැ… පසු කලෙක පොඩි විජේ ගෙ වැඩිහිටියන් විසින් දැවී අලුවී බිමට සමතලා වුනු නිවසක සුන්බුන් සමග අක්කර එක හමාරක් විශාල ඉඩම මිලදී ගනු ලැබුවෙ ඔවුන්ගේ නිවසට ඉදිරිපිට නිවස හිමි කරුවා විසිනුයි…අද එහි විසල් මැදුරක් ඉදිවෙලා…..

පසු කලෙක මාධ්‍යට කතාකල පොඩි විජේ ගේ අයියා සරණපාල කියා තිබුනා එම ගිනි තැබීම මෙහෙය වූයේ පොලිස් අධිකාරී වරයා විසින් බව…ඇතැම් විටක ඒ තොරතුරු නිසා විය හැකියි පොඩි විජේ පොලිස් අධිකාරී මරා දමන්නට උත්සාහ කලේ…කතාවටත් කියනවානේ නාහෙ උඩින් ගැලුවට පස්සෙ කොහොමත් එකයි කියල…
පොඩි විජේත් එහෙම හිතන්නට ඇති….

තඹලවැව මේ කිසිත් නොදැන යල මහ දෙකන්නයම රිසි සේ ගොවි සිත් සතන් සැනසුවා..
වියරු වැටී සිටින පොඩි විජේ ගේ ආගමනය කොහොම කොතැනින් වේ්දැයි බියෙන් සැකෙන් ජීවත්වූ බොහෝ පිරිසක් පොලිස් අධිකාරී ටෙරන්ස් පෙරේරා ට ඔත්තු සපයමින් හිටිය…
ගිරිතලේ..සුදු කන්දත් කටු කැලියාව වන බිමත් ඉදහිට ඉගිලී යන වෙඩි හඩකින් සසල වෙමින් තිබුනා….එලෙස හදිසියේ ඇසෙන වෙඩි හඩකින් ගම්මු අනාවැකි පල කලා….

එක්කො පොඩිවිජේ කාටහරි වෙඩි තිබ්බ නැත්නම් පොලීසිය පොඩි විජේ ට වෙඩි තිබ්බ කියල.

සියල්ල වෙනස් මුහුනු වරක් ගෙනෙමින් තිබුනා…පොලිස් අධිකාරී වරයාගේ එක් උපක්‍රමයක් සාර්ථක වෙමින් තිබුනා… කොතෙකුත් පොලිස් හමුදාවන් වට කලත් පොඩි විජේ ට වෙඩි නොවදින්නේයැයි යන මතය බැහැර කිරීමට කාටවත්ම පුලුවන් උනේ නෑ…පොලිස් ඇස මානෙන් පොඩි විජේ ගැලවිලා යනව තබන තබන වෙඩි හිස් අවකාශෙට එහෙමයි හැමෝම හිතුවෙ…
ඒ උනත් මගේ පෞද්ගලික මතය නම්…ඔය කවුරුවත් පොඩි විජේ ට ලං උනේ නෑ කියන එකයි…. මරු විකල්ලෙන් ඉන්න පොළගෙක් ලගට කෙනෙක් යයිද…

මේ කාලය..1979 හෝ 1981 වගේ මතක කපටි ආරක්ෂකයෙකු වූ පොලිස් අධිකාරි වරයා සමත් වෙලා තිබුනා පොඩි විජේ පිලිබද තොරතුරක් ලබාගත හැකි අයෙකු තම වසගයට ගන්නට…
ඔබ නිකමට වත් ඒ කවුරුන්දැයි අනුමාන කරන්නේ නැද්ද…?

ලෝක ඉතිහාසයේ බොහෝ විරුවන්ට වැරදුනු තැනම පොඩි විජේ ටත් වැරදුනා….

දෙමාපියන්ගෙන් සහෝදරාදීන්ගෙන් බිරිදගෙන් දරුවගෙන් ඈත් වී වල් වැදුනු පොඩිවිජේ ට අතර මගදී මුනගැහුනු..ආදරවන්තිය..??????

බාදුරාමල් ….!!!

මනමේ කුමරිය…!!!!

ඒ නම් දෙකම නොගැලපේනම්….ඒ පාවා දීම හදුන්වන්න චපලකම කියා නම තබමු…

ඔබේ සිතුවිල්ල හරි…පොලිස් අධිකාරි වරයා පොඩිවිජේ ගේ පෙම්වතිය හරවාගෙන තිබුනා.

” තව දුරටත්..පොඩි විජේ නිදැල්ලේ හැසිරුනොත්.. තවත් මිනීමැරුම් වෙයි…අපිට මිනිහ නිදි කරවල දෙන්න.. අත් අඩංගුවට අරගෙන උසාවි දාලා අවුරුද්දක් හමාරක් හිරේ ඉදල එයි නෙ…මෙහෙම ගියොත් අකාලෙ මැරිල යනව…”

මේ මම සටහන් කරල තියෙන්නෙ..පොලිස් අධිකාරි වරයා අර පොඩි විජේ ගේ හිතවතියට මෙහෙම කියන්නට ඇති කියන අනුමානයෙනුයි.නැත්නම් ඇයට පුලුවන් වන එකක් නෑ …. ” අපි පොඩි විජේ මරනව.. ” කීවා නම්…ඒ වගේ සහයෝගයක් දෙන්න..ඒ කතාව දන්නේ ඇයම තමා…

වෙනදා මාරයාගේ හෝරාව..පොඩිවිජේ ගේ සතුරන්ගේ පැත්තෙයි තිබුනෙ…සියල්ල දැන් විරුද්ධ පැත්තට කැරකෙනව… දැන් එලැඹ තිබෙන්නේ පොඩි විජේගේ මාරයාගේ හෝරාවයි….

********* ********** ************ ;

පොඩි විජේට පුදුම හිතෙන්න ඇති ….. වෙනදා තමුන් ඈ සොයා ගියත් මේ මහ වනන්තරේ ඈ තමා සොයා ඇවිත් නෑ..

ඈට මග පෙන්වන්නට පැමිනි උනම්බුවා…පෙම්වතුන්ට තනිව කතා කරන්නට ඉඩ දෙමින් ඉවත් උනා……

“ඇයි මේ කවදාවත් නැතිව..මේ කැලේ මැද්දෙ ආවේ..පොලීසිය මේ ගහක් ගලක් ගානේ…අණක් ගුනක් නැති හැත්ත ඔයාටත් කරදර කරයි ”

පොඩිවිජේ බොහෝ දිනකින් පනාවක් නොදුටු තම හිසැකේ අත ගෑවා…
” හුග දවසකින්..ඔයාට උණුවෙන් බත් කටක් දෙන්න බැරි උනානෙ…ඒකයි තක හනියෙ ආවේ…ඇගට හ‍යිය හත්තිය ඕන නේ..මං අද වල් ඌරු මස් ටිකක් හැදුවා…”

” කොහෙන්ද ඌරු මස් “”
” උනම්බුවා දඩයම් කරල තිබ්බා ”

අතු පතර විහිදී ගිය යෝධ නුග ගහ හෙවනෙ පොඩි විජේ තාවකාලිකව ගිමන් නිවන අතු පැල ඇතුලෙ පොඩි විජේට….නූතන මනමේ කුමාරි බත් කැවුවා…පොඩි විජේ ගෙ හිත මහා වේගෙකින් කුඩා අවදියට ගියා…

දුප්පත් කම ඉහවහා ගිය එහෙත් සතුට පිරුනු අතීත ගෙපැලේ ලමා විජේ බාල සහෝදරියන් සමග ඉදගෙන හිටියා….. පොඩි විජේ ගෙ දුප්පත් අම්මා අර ඇස් යටින් රැලි ගනනාවක් මතුවෙන අඩනවා වගේ ඒත් හිනාවෙමින් මේ දරු කැලතට බත් කැවුවා…අතීතයට හිත ගිය මිනිස් ඝාතන කිහිපයක් කල දරුනු පොඩි විජේ ට බත් කට හිර උනා…උගුර ඉකියකින් බිදී ගියා…බත් කෑම අත් හල පොඩි විජේ කාන්තාව ගේ උරහිසේ හිස හොවාගෙන ඇඩුවා….
ගැහැණිය ගේ හිතත් එකල මෙකල උනා….තමා ගේ සැලසුම..ඔහුට දැනී වත්ද ඈ සැකෙන් විමසුවා…
” මගෙ අම්ම මතක් උනා නෝනේ…මං හින්දා ඒ මිනිස්සු මහ පාරේ…. අපේ ගමේ හිටි කාලකණ්ණි මාව අපරාධකාරයෙක් කෙරුවා..අද මං මරණ වරෙන්තුව අතේ තියාගෙන ඇවිදිනව…මගෙ ගෑනී දරුවා කොහෙවත්….”

“ඔයා පොලීසියට බාර වෙන්න ”
අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න කල්පනා කල කාන්තාව යෝජනා කලා…
මොහොතකට පොඩි දරුවෙක් වගේ අඩා වැලපුනු පොඩි විජේ යක්ෂාවේෂයෙන් කෑගැහුවා…..

“මම මළත් ඔය පොලීසියට නං යටත් වෙන්නෙනෑ…”

පහුවදාට එලි වෙද්දී මුලු රටම ගිනි ගෙන තිබුනා..පුවත් පත් ශීර්ෂපාඨ පොල්ගෙඩි අකුරෙන් ලිවුවා…..
පොලිස් වෙඩි පහරින් පොඩි විජේ……

————————————————————————————————————————————

දාහතරවන  කොටස
14608050_820856671382127_1202331223_n

මේ ටීකාව කියවන අයට වගේම මටත් අද එදාටත් වඩා පොඩිවිජේ කියන මංකොල්ල කරුවා,ඝාතකයා ,ගැන අනුකම්පාවක් හිතට දැනෙනවා….මේ තරුණයා පත්වූ තැනටමයි නේදා කලකට ඉහත 70 කැරැල්ලේ තරුණ පිරිස පත්වෙලා තිබුනේ…ප්‍රභාකරන්ගෙ වහලුන් බවට පත්වූ තරුණයන්ට උනෙත් ඒකමයි
දුප්පත් කම,විරැකියාව,සමාජයේ නිසි පිලිගැනීමක් නැති කම,නිසි අධ්‍යාපනයක් ලබා ගැනීම උගහට වීම…මේ සියල්ලේ අවසානයේ ඔවුන් අතට ගත්තෙ ආයුධ…..කිසිවෙකුටවත් විමුක්තියක් ලැබී නැහැ…

පොඩි විජේ ගේ ගමන නිමා වුනෙත් එහෙමයි…
පොලිස් අධිකාරි වරයා විසින් ඉහලට වාර්තා කරනු ලැබ තිබුනේ කටු කැලියාව මහ වන මැද අපරාධ කරුවා විසින් පොලීසියට වෙඩි තබද්දී ආරක්ෂාව පිනිස අපරාධකරුවාට වෙඩි තැබූ බවයි..එදත් අද වගේමයි…පොලීසිය අපරාධකාරයො අල්ලගත්තු ගමන් හංගලා තිබුන ආයුධ පෙන්නන්න කියල එක්කගෙන යද්දි පොලීසියට වෙඩි තියන්න හදනව. දෙපිරිසේ ගැටුමෙන් අපරාධකාරයා මිය යනව…

ඔය කතන්දරේ…එදත් එහෙමයි අදත් එහෙමයි….
පොඩිවිජේ ගෙ කතාවෙත්…මාර නිර්මාන තිබුනෙ…
අපි ආයෙමත් යමු..පොඩි විජේ ගේ අනියම් පෙම්වතිය ඔහුට බත් කවන තැනට…..

පොඩිවිජේ…කාන්තාවගේ ආදර කරුනාව ගැල්වූ…බත් කටක් කන අතරේ..දොඩමලු උනා..

” සුදු නෝනේ…මගෙ පණ තියෙන තුරු පොලිස් වෙඩිපාරකින් නම් මැරෙන්නෙ නැ ඔයා බය වෙන්න එපා…”

“කොහොමටත් මේ විදියට..හුගක් කල් මේ කැලෑවෙ හැංගි මුත්තන් සෙල්ලං කරන්නං බෑ…….එක්කෝ…මම මෙතැනින් මාරුවෙලා නිල්ගල පැත්තට..ගියානං..මුන් මාව හොයල හමාරයි……මම මේ අහල පහල ඉන්න බව දන්න හින්දයි….මේ බල්ලො මගෙ පවුලෙ උන්ට අත තියන්නෙ නැත්තෙ…..තව දෙන්නෙක් ඉන්නව උන්ටත් කලු කුඩු බස්නෙ දී ගන්න ලැබුනනම් මලත් කමක් නෑ …”

නුග ගස් හෙවනින් නුදුරින්..කිසියම් අයෙකුගේ ආගමයකින් වියලි දර ඉත්තක් බිදී ගියේත්..පොඩි විජේ ගෙ අතට ගිනි අවිය පැමිනියේත් එකම වෙලාවක…

කාන්තාව බියෙන් වෙවුලා ගියා…එහෙත්..ඈ වෙවුලන කට හඩින් ඒ උනම්බුවා ගේ පැමිනීම විය හැකි බව පොඩිවිජේට සිහිපත් කලා…වහා සංසුන් වුනු පොඩි විජේ ගිනි අවිය බිම තිබ්බා…
ඔහු විශ්වාස කලා උනම්බුවා අසලක නම් පොලිස් හමුදාවකටවත් තමන් වෙත ලංවිට නොහැකි බවට…

” දන්නවද සුදු නෝනේ…මම සල්ලි තියල තියෙනවා…..( ඔහු කිහිප දෙනෙකුගේ නම් පවසයි ) කවද හරි දවසක ඔයා තමයි..මගෙ ගෑනියි දරුවයි..ගැන බලන්ඩ ඕන…අයියා නංගිලා..උන්ටත් මං හින්ද ඔක්කොම අහිමි උනා..උනටත්..යමක් දෙන්න ඕනේ…මේ තියෙන තත්වෙ මට ඒ ගොල්ල කවුරුවත් බලන්න යන්න විදියක් නෑ..උඹම තමා…..මං ගැන වගේම මගේ උන් ගැනත් බලන්න ඕන…..මට හරි නිදි මතයි..නෝනේ..මං ටිකක් ඔයාගෙ උකුලෙ ඔලුව තියා ගන්ඩද…..

පොඩිවිජේ ගේ අසාමාන්‍ය නිදිමත පිලිබදව කාන්තාව පුදුම උනේ නෑ…ගිනි අවිය පපුව මත තියා ගත්තු පොඩිවිජේ..කාන්තාවගේ උකුල මත …ගැඹුරු නින්දකට වැටුනා……

බොහෝ ටික කලෙකට පෙර පෝනියෙකු පිට නැගී බටහිර ගොපලු චිත්‍රපටයේ නලුවකු සදිසි තම ගොවිපල වෙත පැමිනි සුන්දර තරුනයා…. ගේ නෂ්ඨාවශේස..තම උකුලේ නිදන අපරාධකරුවා ගේ මුහුනේ ඉතිරිවී ඇත්දැයි ඇය පරීක්ෂාවෙන් බැලුවා.

නැත දැන් මෙහි සිටිනුයේ…දළ වැද්දෙකි…පැහැපත් මුහුන..රකුසකු බදුය…අත් පා ගොරහැඩිය…දශමයකින් හෝ තමා ගැන සැකයක් දැනුනෝතින් දෙවරක් නොසිතා මොහු තමා වෙඩි තබා ඝාතනය කරනු සිකුරුය…

මේ මොහොතේ..කැලෑවේ සිට පැමිනි..උනම්බුවා….. ..කාන්තාව දෙස බලා ඇයට මෙතැනින් ඉවත්ව යන ලෙසට සන් කලා…ඇය ඉතා සීරුවෙන් පොඩිවිජේ ගෙ හිස තම උකුලින් ඉවත් කොට නැගී සිටියා…..කිසිවක් නොබිනූ ඈ යන්නට පෙර තව වරක් බිම වැටී තද නින්දක වැටී සිටින පොඩිවිජේ ගෙ මුහුන බැලුවා…

එතැනින් නික්ම ගිය කාන්තාව එතැන් සිට සිදුවූ කිසිවක් දන්නෙ නෑ..

මෙය කියවන ඔබට ජපන් ෂමුරායි චිත්‍රටයක් වන රෂොමාන් චිත්‍රපටය සිහිපත් කරන්නට කැමතියි.. …

රෂොමාන් හි පාත්‍ර වර්ගයා… මිනිස් ඝාතනයක්
සම්බන්ධයෙන් එකිනෙකා වෙනස් වෙනස් කතන්දර කීවා….

ඒ වගේ තමා…කාන්තාව…කියන්නේ ඈ පොඩිවිජේ කවුදැයි කියා දන්නේත් නැති බවයි…උනම්බුවා…. අදටත් මේ සම්බන්ධයෙන් කටක් අරින්නේ නෑ.. ..හැබැයි පොලිස් අධිකාරී වරයා කියනවා…තමුන්ට යාර කිහිපයක් නුදුරේ සිට පොඩි විජේ තමන්ට වෙඩි තබන්නට සූදානම්වූ නිසා ආත්මාරක්ෂාව පිනිස තමා ඔහුට වෙඩි තැබූ බව..

පොලොන්නරුවෙ පොඩිවිජේ වෙඩි නොවදින පොඩිවිජේ..
වැඩි එඩි පෑ පොඩිවිජේ කැලේ රජ උනා
වෙඩි පිට වෙඩි තිය තියා නීතිය ලුහුබැද ගියා
කලකම් පලදී එයා මරුට බිලි උනා…..

ඇන්ටන් ජෝන්ස්..එහෙම ගැයුවා..

මුලු පොලොන්නරුවම කැලඹුනා…ඔබට මතක ඇති මම මුලින් සදහන් කලා පොඩි විජේ හරි කියන පිරිසකුත්…මේ ගම් තුල හිටියා…නීතියට අනුව ඔහු දරුණු ගනයේ මිනීමරුවෙක්………..මංකොල්ල කරුවෙක්…එහෙමනම් ඇයි මහජනතාවගෙන් වැඩි පිරිසක් ඔහු හරියි කියන්නේ…

වැරදුනු තැනක් තියෙනවා..පොඩි විජේට පමනක් නොවේ..නීතිය ක්‍රියාවේ යොදවන නිලධාරීන්ගේ ද වරදක් තිබුනා…
එ ගැන පසුව කතා කරමු…
ආපසු පිවිසෙමු අපි ට මහජන මතය අපක්ෂපාතීව ලැබෙන මගේ අතීත මහ ගෙදර අඹගහ යට සංගමයේ අදහස් වලට…

” පොලීසිය… තරු පටි ගහන්ඩ හදන්නෙ…බොරු කරලා ”

“ඔව් අයිසෙ..බලනවකො..අර ගෑණී..පොඩිවිජේ ගෙ බත් එකට ඌරු මස් දාලා දීලනෙ..උගෙ හෙනරාජ තෙලේ බලේ බිදුනා ”

“මොන බොරුද අයිසෙ..පොලීසිය ගිහින් වෙඩි තියල තියෙන්නෙ මැරුනු පොඩි විජේට…”

“ඔව්..ඔව්..උනම්බුවා තමා වෙඩි තියල තියෙන්නෙ…. ඌට ඒකට පොලීසියෙන් ගෙවුවාලු..”

“චෙහ්..මහ පාදඩ වැඩක් කොරල තියෙන්නෙ…ඕකා යාන්තං එක ක් දෙකක් හොරකං කරද්දී නීතිය හරියට කොලානම් ඉවරනෙ..”

“” ඒකනේ…ඌ ලව්ව පොලීසිය යි මෙහෙ ඉන්න හොර මුදලාලි ලා දෙන්නෙක් තුන්දෙනෙකුයි හම්බ කොර ගත්ත..”

දරුනු ගණයේ අපරාධකරුවෙක් පොලිස් වෙඩි පහරින් මලා උනත් සාමාන්‍ය ජනතාව කතා බහ කරල තියෙන හැට් පේනවනෙ…

පොලීසිය ජනතා අප්‍රසාදයට පත් වුනා…

පොඩිවිජේ ගේ මරණය පිලිබදව පසුව බොහෝ ගැටලු මතු උනා….සහකාර පොලිස් අධිකාරි වරයාට උසස් වීමකුත් ලැබුනා….. ඒ උනත් වෛද්‍යමතයේදී පොඩිව්ජේට කල වෙඩි තැබීම යාර කිහිපයක් ඈතින් සිට එල්ල කල වෙඩි පහරක් නොවන බව ඔප්පු උනා…..

ඉතාම ආසන්නයේ සි ට තැබූ වෙඩි පහරක් හෝ තමන් විසින්ම වෙඩි තබා ගැනීමෙන් සිදුවූ වෙඩි උන්ඩ එකකින් ඔහුගේ මරණය සිදු වූ බවට වෛද්‍ය මතය ….උනා…..අනෙක් සියලුම වෙඩි පහරවල් මියගිය පසු එල්ල වූ ඒවා බවටත් මත ප්‍රකාශ වුනා… ඒවා එතැනින් එහාට ගියෙ නෑ..මොකද මැරුනෙ අපරාධකාරයෙක්නෙ.

පොඩිවිජේ ගේ අවමගුල ගැන ලියන්න පෙර..පොලිස් අධිකාරී වරයා ගැනත් ලියා තැබිය යුතුයි…
පොඩිවිජේ ගේ මරණයෙන් පසුව ඔහු උසස් වීම් ලබා අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ සේවය කරද්දී නීතී විරෝධි මත්පැන් පෙරන්නෙකු හා අලෙවි කරුවකු වූ ” කසිප්පු කල්ලා ” නැමැත්තෙකුගේ මරණය ද පොඩි විජේගේ මරණය ලෙස අලෙවිකිරීමෙන් මහජන අප්‍රසාදයටපාත්‍ර වූ බව කියැවේ…

අනතුරුව 87 – 89 ලංකාවේ අදුරු භීෂණ යුගයේදී ඔහු ජ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට උසස් වීමෙන් අනතුරුව අගනුවර සේවයට එක් උනා…

අනතුරුව ඔහු ගේ නමට තනතුරට කැලලක් කර ගන්නේ තවත් චිර ප්‍රසිද්ධ විජේ කෙනෙකුගේ ඝාතනය සම්බන්ධයෙනුයි…
අසහාය සිනමා නලු විජය කුමාරණතුංග යන් ගේ ඝාතනය සම්බන්ධයෙන් වන ඇතැම් තොරතුරු ඔහු විසින් වසන් කල බවටයි එවකට ඔහුට මහජන යාගේ දබරගිල්ල යොමු උනේ…..
අවසානයේදී… 1987.12.10.වෙනිදා බත්තරමුල්ලේ ඔහුගේ නිවස ආසන්නයේදීම ඔහු මිය යන්නෙ..දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ වෙඩි උන්ඩයක් ඔහුගේ හිසට එල්ල වීමෙනුයි….

මේ කතාවේ එක් තැනකදී දියණියක් මගෙන් ඇහුවා…..ගම්මුන් වන්දනා කල දේව රූපයක් ඔහු විසින් කඩා බිද දමා විනාශ කල මොහොතේදී පොලිස් නිලධාරියාට දඩුවමක් ලැබුනේ නැත්ද කියා.. මේ වන විට ඇයට පිලිතුරු ලැබී ඇතැයි මම විස්වාස කරනවා..

ජීවත්වූ පොඩිවිජේ ට වඩා මියගිය පොඩිවිජේ ප්‍රබල චරිතයක්.. උනා…ඔහුගේ මෘත දේහය ගෙන‍යනු ලැබුවේ ඒ වන විටත් ඔහුගේ මවුපියන් වාසය හබරණ ප්‍රදේශයේ අවුඩන්ගාව කියන ගමටයි…..පොලොන්නරුව දිස්ත්‍රික්කයේ එවකට අවමගුලකට එක්වූ වැඩිම ජනගහනය වාර්තාඋනේ පොඩි විජේ ගේ අවමගුලටයි…පොලිස් ආරක්ෂාවකුත් තිබුනා…අගනුවරින් පැමිනි විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කරන්නෝද.. ඇතැම් දේශපාලන මුහුනු ද තිබුනා…ඔහුගේ දේහය භූමදානය සදහා සකස් කොට තිබුනේ හබරණ ප්‍රධාන මාවත අද්දරමයි..අධික ජනගහනය නිසා රථ වාහන ධාවනයටද බාධා සිදු උනා..

පොඩිවිජේ නිසාම ජිවිතයේ අනේකවිද කරදර වලට මුහුන දුන් ඔහුගේ අම්මා…පරඩැලක් බදුව ..දිරාපත් වී සිටියා..කවදටත් නිහඩ ඔහුගේ පියා මේ මොහොතෙදිත් තදින් දෙතොල් පියවාගෙන හිටියා..පොඩි විජේ ගේ සහෝදරියෝ විලාප දුන්නා..ඔවුන් පොලිස් අධිකාරී්වරයාට සාප කලා…

මියගියේ අපරාධකාරෙයෙක් උනත් අවමගුලට ගිය ජයන්තිපුර ගොවි අම්මලා හොරෙන් තම ඔසරි පොටවල් වලින් ඇස් පිහදා ගත්තා…

අදට මම සමු ගත්තත්..මේ කතාවේ තවත් කොටසක් ඉතිරිවී තිබෙනවා…එයද ඔබේ පපුකුහරයට ඔබා ගත යුතුයි…
මම ඉන්දුමති ජයසේන  පොලොන්නරැවේ සිට 2016/10/25

 

පණිවිඩයක් ලියන්න…
 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *